ඊශ්‍රායලයේ අල් ජසීරා තහනම්



ඊශ්‍රායලයේ ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් ප්‍රවෘත්ති විකාශය කරන සියලු මාධ්‍ය ආයතන තහනම් කිරීමේ නව පනත් කෙටුම්පතක් ඊශ්‍රායල පාර්ලිමේන්තුව හෙවත් ‘නෙසට්’ සභාවේදී සම්මත විය. ඒ අනුව, අල් ජසීරා ඇතුළු අරාබි පුවත් නාළිකා කීපයක් ඊශ්‍රායලයේ තහනම් කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පැවැසීය.

අල් ජසීරා යනු කටාර් කේන්ද්‍රකොටගත් ලොව ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර පුවත් නාළිකාවකි. හර්නියා සැත්කමකට භාජන වී රෝහලෙන් පිටවී යද්දී, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු කියා සිටියේ, පාර්ලිමේන්තුවේ දී සම්මත කරගත් නව නීතියට අනුව වහා කටයුතු කරන බවත්, මින් ඉදිරියට ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂාවට හානියක් සිදුවන ආකාරයේ පුවත් පළ කිරීමට ඉඩක් නොදෙන බවත්ය. 

ඊශ්‍රායලයට අනුව, අල් ජසීරා නාලිකාව පුවත් පළ කරන්නේ, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට සහ පලස්තීනුවන්ට වාසි වන ආකාරයටය. අල් ජසීරා පුවත් සේවය, ඊශ්‍රායලයේ තහනම් කිරීමට ඊශ්‍රායල රජය නව නීති හඳුන්වා දීම සම්බන්ධයෙන් ඇමෙරිකාව සිය කනස්සල්ල පළ කර තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS