ඉරාන කොන්සල් කාර්යාලයට මිසයිල ප්‍රහාරයක්



මිසයිල ප්‍රහාරය එල්ල වූයේ ඊයේ (1) සවස 5 ට පමණය. කොන්සල් කාර්යාලය පිහිටා ඇත්තේ ඩමැස්කස් අගනුවර මෙසා දිස්ත්‍රික්කයේ ගොඩනැගිල්ලක් තුළය. මිසයිල ප්‍රහාරයෙන් කොන්සල් කාර්යාලය සම්පූර්ණයෙන් විනාශ වුණු බවත්, එය අයත් ගොඩනැගිල්ලට ද හානි සිදුවුණු බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාරයෙන් මියගිය හමුදා නිලධාරීන් දෙදෙනා වන්නේ ඉරාන විප්ලවීය හමුදාවට අයත්, කුද්ස් අතිරේක හමුදා බලඇණියේ නායකයකු වන බ්‍රිගේඩියර් මොහොමද් රේසා සහේදි සහ ඔහුගේ දෙවැනියා ජනරාල් මොහොමද් හාදී හර්රිහයිමී යැයි ඉරාන රජය පවසා ඇත. 2016 වසරේ සිට සිරියාවේත් ලෙබනනයේත් කුඞ්ස් බළඇණියට නායකත්වය දෙන්නේ  බ්‍රිගේඩියර් මොහොමද් රේසා සහේදි යැයි පැවැසෙයි.

මිසයිල ප්‍රහාරය එල්ල කළේ ඊශ්‍රායලය බවට ඉරානය චෝදනා කරන නමුත් ඊශ්‍රායලය ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැත. කොන්සල් කාර්යාලයට එල්ල වුණු එම ප්‍රහාරයෙන් කොන්සල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලේ සිටි තවත් 11 දෙනෙක් ද ජීවිතක්ෂයට පත්වුණු බව සිරියානු රජය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. එම 11 දෙනා අතරේ, සිරියානුවන්ට අමතරව එක් ලෙබනන් ජාතිකයකු ද සිටින බව පැවැසෙයි. බ්‍රිතාන්‍ය බුද්ධි අංශ වාර්තා අනුව, ඔවුන් ඉරාන හිතවාදී සටන්කාමීන්ය.


RECOMMEND POSTS