බොට්ස්වානා අලි කරදරය



බොට්ස්වානා යනු රටවල් කීපයකට මැදි වූ, අප්‍රිකානු මහද්වීපයේ කුඩා රාජ්‍යයකි. බොට්ස්වානා රාජ්‍යයට දකුණින් ඇත්තේ දකුණු අප්‍රිකාවය. උතුරින් සහ බටහිරින් ඇත්තේ නැමීබියාවය. සිම්බාබ්වේ රාජ්‍යය පිහිටන්නේ ඊසාන දෙසිනි. බොට්ස්වානා ජනගහනය මිලියන 2.3 ක් පමණය. අතීතයේ බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ බොට්ස්වානා, ලොව දිළිදුම රටවලින් එකක් ලෙස සැලකිණි. ඒත්, 1966 නිදහස ලැබීමෙන් පසු ආර්ථික මෙන්ම සමාජීය වශයෙන් ද පෙරැළි සිදුවිය. බොට්ස්වානා ඉහළ මධ්‍යම ආදායම්ලාභී රටක් බවට පත් වූයේ ලොව වේගවත් ආර්ථිකයකට හිමිකම් කියමිනි. අද බොට්ස්වානා 'අලි කරදරයකට' මුහුණ පා සිටී.

අලි ඇතුන් වර්ග දෙකකි. ඒ, අප්‍රිකා අලියා සහ ආසියා අලියා යනුවෙනි. ආසියා අලියා අප ශ්‍රී ලංකාවේත්, අසල්වැසි ආසියා රටවල් කීපයකත් දකින්න ලැබේ. ඒ ඒ රටට අනුව, ආසියා අලියාට ආවේණික වෙනස්කම් ඇත. ලොකු කන් ඇති, දැවැන්ත සිරුරකට හිමිකම් කියන අප්‍රිකා අලියා, අප්‍රිකා මහද්වීපයේ අප්‍රිකා රටවලට ආවේණිකය. ලොව වැඩිම අලි ඇතුන් සිටින රට වන්නේ බොට්ස්වානාය. අප්‍රිකා අලි ඇතුන් වැඩියෙන්ම සිටින අප්‍රිකා රට වන්නේ ද බොට්ස්වානාය. බොට්ස්වානා අලි කරදරයක මුහුණ පා සිටින්නේ, සිටින 1,30,000 ක අලි ඇතුන් නිසාය. මෙතරම් අලි ඇතුන් ප්‍රමාණයක් කුඩා බොට්ස්වානා රාජ්‍යයට උසුලා ගත නොහැකි වී ඇත. බොට්ස්වානා අලි මිනිස් ගැටුම දිනෙන් දින උත්සන්න වෙයි. අලි ඇතුන් ගම්මානවලට පහර දෙයි. වගා හානි සිදු කරයි.

අතීතයේ යටත් විජිතයක් වූ අවදියේ, සුදු ජාතිකයන්ගේ විනෝදය වූයේ අලි ඇතුන් දඩයමය. සුදු ජාතිකයන් කෝටිපතියන් වූයේ ඇත් දළ ජාවාරම්වලිනි. අලි ඇතුන්ගෙන් (ඇත් දළ සහ සම් ආදියෙන්) නිපදවන නිර්මාණ සහ බඩු බාහිරාදියට යුරෝපා රටවල හොඳ ඉල්ලුමක් ඇත. අදටත් එය එසේමය. යුරෝපා රටවල් අතරින්, බොට්ස්වානා අලි අතුන්ගෙන් නිපදවන සිහිවටන ආදිය වැඩියෙන්ම මිලදී ගන්නා රට ජර්මනියයි. අලි ඇතුන් මරා දැමීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන කෑ කෝ ගැසීමත් සමඟ බොට්ස්වානා රජය අකමැත්තෙන් වුවත්, අලි ඇතුන් සුරැකීමට නව නීති හදුන්වා දුන්නේ මීට වසර ගණනකට පෙරය. අද අලි ඇතුන් ගහනය වැඩි වීමට හේතුව එයයි.

බොට්ස්වානාවට පැමිණ අලි ඇතුන් දඩයමේ යෑමට සුදු ජාතිකයන්ට බොට්ස්වානා රජයෙන් අවසර ලැබෙයි. ඒ සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ආයතනවල දැඩි අප්‍රසාදයත් විරෝධයත් මැදය. එසේ අලි ඇතුන් දඩයමට පැමිණෙන සුදු ජාතිකයන් කෝටිපතියන්ය. ඔවුහු අත දිග හැර මුදල් විසි කරති. බොට්ස්වානා රජයට එය වාසියකි. බොට්ස්යානා වන ජිවී අමත්‍යාංශය පවසන්නේ, ලැබෙන එම මුදල්වලින්, අලි ඇතුන් පමණක් නොව, අනෙකුත් වන සතුන් ද සුරැකීමට පියවර ගන්නා බවය.

අලි ඇතුන් බරක් වීම නිසාම, බොට්ස්වානා රජය, අසල්වැසි ඇන්ගෝලාවට අලි ඇතුන් 8,000 ක් ලබා දුන්නේය. ඊට අමතරව, තවත් අලි ඇතුන් දහස් ගණනක් මොසැම්බික් රාජ්‍යයට යවා ඇත. අලි ඇතුන් ගහනට අඩු කිරීමට එය ප්‍රමාණවත් වී නැත.

ජර්මන් පරිසර අමත්‍යාංශය පසුගිය දිනෙක පැවැසුවේ, බොට්ස්වානා අලි ඇතන් මරා දැමීමට එරෙහිව, බොට්ස්වානා රජය නීති දැඩි කළ යුතු බවත්, බොට්ස්වානාවෙන් ජර්මනියටත් ආනයන කරන අලි ඇතුන්ගෙන් නිපදවූ භාණ්ඩ සියල්ල තහනම් කළ යත බවත්ය. මෙය බොට්ස්වානා ජනාධිපති මොක්ග්වීට්සි මසීසිගේ දැඩි කෝපයට හේතුවක් විය. පසුගිය දා ජර්මනියේ 'බිල්ඩ්' පුවත්පත ජනාධිපති මොක්ග්වීට්සි සම්මුඛ සාකච්ඡාවකට එක් විය. එහිදී 'අලි කරදරේ' සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරද්දී, ජනාධිපතිවරයාට කේන්ති ගියේය.

'ජර්මනියට අපේ අලි ඇතුන් ගැන කැක්කුමක් තියෙනවා නම්, මම අලි ඇතුන් 20,000 ජර්මනියට යවනවා' යැයි බොට්ස්වානා ජනාධිපතිවරයා එම මාධ්‍ය හමුවේ දී ජර්මනියට තර්ජනයක් ද කළේය. ජනාධිපතිවරයාගේ එම තර්ජනය විහිළුවක් නොවීය. 'අපේ රටේ අලි අතුන් අපට පාලනය කරගන්න බැහැ. උන් දඩයම් කරනවාට ජර්මනිය කැමැති නැහැ. මම අලි ඇතුන් 20,000 ජර්මනියට එව්වාම, ජර්මන් වැසියන්ට හොඳින් අවබෝධ වේවි අලි ඇතුන්ගේ කරදරවල තරම. අපට අපේ අලි ඇතුන් හිසරදයක්. ඒක ජර්මනියට තේරෙන්නේ නැහැ.' යැයි බොට්ස්වානා ජනාධිපතිවරයා පැහැදිලි කළේ කේන්තියෙනි.

ජර්මනිය පමණක් නොව, බ්‍රිතාන්‍යය ද බොට්ස්වානා රාජ්‍යයේ අලි ඇතුන් මරා දැමීම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කර තිබේ. බොට්ස්වානා වනජීවී ඇමති දුමේස්වේනි ම්තිම්ඛුලු, ඒ සම්බන්ධයෙන් පසුගිය දා බ්‍රිතාන්‍යයට දෙහි කැපුවේ, අලි ඇතුන් 10,000 ක් ලන්ඩනයේ හයිඩ් පිටියට එවීමට පියවර ගන්නා බව අවධාරණය කරමිණි.

බීබීසි ඇසුරිනි


RECOMMEND POSTS