තායිලන්තයේ යළිත් කොරෝනා වැඩිවෙලා



‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ඉතා සාර්ථක ලෙස පාලනය කර ගැනීමට සමත් වුණු තායිලන්තයෙන් ද මේ වනවිට යළිත් වරක් කොරෝනා ආසාදිතයන් වාර්තා වේ.

ගතවුණු පැය 24 ඇතුළතෙහඳුනා ගත් ආසාදිතයන් ගණන 548 ක් බව තායිලන්ත සෞඛ්‍ය අංශ ඊයේ (19) නිවේදනය කළේය. හමුවුණු පිරිස අතරින් සියයට 90 ක් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බව ද පැවැසෙයි.

පසුගිය මාස කිහිපයේ තායිලන්තයේ කොරෝනා වයිරස ව්‍යාප්තියේ විශාල අඩුවක් පෙන්නුම් කළේ දේශසීමා වසා දමා සංචරණ කටයුතු සීමා කිරීම හේතුවෙනි. කෙසේ නමුත්, ආසාදිතයන් අඩු වෙද්දී, පනවා තිබූ තහංචි ඉවත් කිරීමට සහ දේශසීමා විවෘත කිරීමට තායිලන්ත රජය පියවර ගත් අතර, යළිත් ආාසදිතයන් වාර්තා වීමට පටන් ගත්තේ ඒ අනුවය.

වැඩිම ආසාදිතයන් වාර්තා වී ඇත්තේ බැංකොක් අගනුවරට නිරිත දෙසින් පිහිටා ඇති සමුත් සකෝන් නමැති පළාතෙනි. ආසාදිතයන් වාර්තා වීමට පටන් ගත් අවස්ථාවේදී, ඒ ගැන සොයා බැලූ සෞඛ්‍ය බලධාරීන් කියා සිටියේ, සමුත් සකෝන් පළාතේ පිහිටි ඉස්සන් වෙළෙඳපොළ කේන්ද්‍රකොට ගනිමින් ආසාදිතයන් හමුවෙමින් පවතින බවය.

මෙම ඉස්සන් වෙළෙඳ පොළේ රැකියාව කරන වැඩිදෙනා අසල්වැසි මියන්මාරයේ සිට පැමිණෙන සංක්‍රමණික සේවකයන්ය. වයිරසය තායිලන්ත වැසියන් අතරේ යළි ව්‍යාප්ත වීමට පටන් ගත්තේ මෙම සංක්‍රමණික සේවකයන්ගෙන් යැයි සෞඛ්‍ය අංශ පැහැදිලි කර තිබේ.  බෞද්ධ රාජ්‍යයක් වන තායිලන්තයේ ජනගහනය මිලියන 70 ක් වන අතර, මේ වනවිට තායිලන්තයෙන් වාර්තා වන සමස්ත ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 4,800 දක්වා වැඩි වී ඇත. මරණ සංඛ්‍යාව 60 කි.

බැංකොක්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS