නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය



 

           

  යෞවනවියේ පසුවන දරුවන් අතර පෝෂණ ඌනතා සැලකිය යුතු මට්ටමකින් පවතින බව නොරහසකි. නමුත් සමහර යෞවන යෞවනියන් සමබල ආහාර වේලක් නොගන්නා අවස්ථා තිබේ.

            විශේෂයෙන්ම සමහරු නිර්මාංශ ආහාර ගැනීමට පුරුදුව සිටිති. මස්, මාළු, කරවල, හාල්මැස්සන්, බිත්තර ආදී ආහාර ගැනීමෙන් වැළකී සිටීමේ ප්‍රතිඵලය වන්නේ ඔවුන් පෝෂණ ඌනතාවයන්ට ගොදුරුවීම තුළින් කාය ශක්තිය පිරිහී ඵලදායී ලෙස කටයුතු කිරීමට නොහැකි තත්ත්වයට පත්වීමයි.

            මෙලෙස යොවුන් වියේදී අන්තවාදී ලෙස ආහාර ගනිමින් සමහර ආහාර නොගැනීම සෞඛ්‍යයට අහිතකරය. ශරීරයේ නිරෝගී පැවැත්මට වර්ධක ආහාර අත්‍යාවශ්‍ය අවධියක පසුවන යොවුන් වියේ අයට මෙන්ම සියලු දෙනාට නිසි පෝෂණයක් අවශ්‍යමය. නිර්මාංශ වුවහොත් නීරක්තියට ගොදුරුවීමේ ප්‍රවණතාවය ද ඉහළ යන අතර රෝගවලට ඔරොත්තුදීමේ හැකියාව දුර්වල විය හැක.

            එබැවින් යම් හෙයකින් නිර්මාංශවීමට අත්‍යාවශ්‍ය නම් ආහාර තෝරා ගැනීමේ දී විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. ශාකමය ආහාරවල ඇති ප්‍රෝටීන සම්පූර්ණ නොවන ප්‍රෝටීන වන අතර මේවායින් අත්‍යවශ්‍ය ඇමැයිනෝ අම්ල ශරීරයට ලැබීම අඩු වේ. එමෙන්ම ඒවායේ ඇති යකඩ සහ කැල්සියම් ශරීරයට උරා ගැනීම ද අඩුවේ.

            එබැවින් නිර්මාංශිකයන් ශාකමය ආහාර, පළා වර්ග, ධාන්‍ය වර්ග ආදිය වැඩි වශයෙන් ආහාරයට එක්කර ගත යුතු අතර යකඩ උරාගැනීම වැඩිකිරීම සඳහා දෙහි, සියඹලා, ගොරකා ආදිය එකතුකිරීම සුදුසුය. නිර්මාංශ ආහාරලාභින් කිරි හා කිරි ආහාර අනිවාර්යයෙන්ම ගත යුතුය. ඒ විටමින් B 12 ලැබෙන්නේ සත්ත්ව ආහාර ප්‍රභවවලින් පමණක් වන බැවිනි. ඒවා නොගතහොත් කලක් ගතවීමේදී විටමින් B 12 ඌනතා නීරක්තියක් ඇතිවීමේ අවදානමක් ඇතිවිය හැක. එය ස්නායු පද්ධතියට ඍජුවම බලපෑ හැක. 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝගඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥශාන්ති ගුණවර්ධන

සැකසුම - ඩයනා උදයංගනී

 

 

 


RECOMMEND POSTS