ඇමෙරිකන් සෙබළු 80 ක් මියගියා - ඉරානය



කිසිවකුටවත් අනතුරක් සිදුනොවුණු බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තහවුරු කළත්, ඉරාකයේ ඇමෙරිකන් හමුදා කඳවුරුවලට ඉරාන විප්ලවීය හමුදාව එල්ල කළ එම මිසයිල ප්‍රහාරවලින්, ඇමෙරිකන් සොල්දාදුවන් 80 දෙනකු මියගිය බවත් 200 දෙනකු තුවාල ලැබූ බවත් ඉරානයේ ‘මෙහර්’ පුවත් සේවය වාර්තා කර ඇත.

ඉරාන රජයට අයත් ‘මෙහර්’ පුවත් සේවය, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කොමේනී යටතේ පවතී. එම පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කර ඇති අන්දමට, මියගිය සහ තුවාල ලැබූ ඇමෙරිකන් සොල්දාදුවන් කඩිනමින් එම කඳවුරුවලින් ඉවත් කර ගැනීමට ඇමෙරිකන් හමුදාව කටයුතු කළේ යැයි ද ‘මෙහර්’ පුවත් සේවය වැඩි දුරටත් පවසා ඇත.

ඉරාන විප්ලවීය හමුදාව, 8 දා ඉරාකයේ පිහිටි ඉර්බිල් හමුදා කඳවුරට සහ අල් අසාද් ගුවන් හමුදා කඳවුරට එල්ල කළ බලැස්ටික් මිසයිල ගණන 22 කි. ඉරානය මෙසේ ඇමෙරිකන් කඳවුරු ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාර එල්ල කළේ, පසුගිය 3 වැනිදා, ඉරාන හමුදා නායක ජනරාල් කසීම් සුලෙයිමානී ඇමෙරිකන් ඩ්‍රෝන යානා ප්‍රහාරයකින් මියයෑමේ සිදුවීමට පළිගැනීමක් ලෙසය.
ඉරාකයේ ඇමෙරිකන් හමුදා කඳවුරුවලට පහරදීමෙන් පසු ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කොමේනී කියා සිටියේ, එම ප්‍රහාරය හරහා, ඇමෙරිකාවට ‘අතුල් ප්‍රහාරයක්’ එල්ල කිරීමට හැකිවුණු බවය.
මේ අතර, ඉරාන විදේශ ඇමැති ජාවද් සරීෆ්, සිය ට්විටර් ගිණුම ඔස්සේ අදහස් දැක්වීමක් කළේය. ‘අප ඉරාකයේ ඇමෙරිකන් කඳවුරු ඉලක්ක කර ගනිමින් පහර දුන්නේ එක්සත් ජාතීන්ගේ කොන්දේසිවලට අනුවයි. ආත්මාරක්ෂාව වෙනුවෙන් ප්‍රහාරයක් එල්ල කිරීමට ඇති අයිතිය සැලකිල්ලට ගනිමිනුයි. අර්බුදය තවත් දුරදිග ගෙන යන්න අවශ්‍ය නැහැ. යුද්ධ කිරීමට ඉරානයේ කැමැත්තක් ඇත්තේ නැහැ’ ඉරාන විදේශ ඇමැතිවරයාගේ ට්විටර් පණිවුඩයේ සඳහන් විය.

තෙහෙරාන්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS