දෝෂාභියෝග විමර්ශනය ඇරැඹේ



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයට අදාල විමර්ශන කටයුතු ආරම්භ විය. විමර්ශන කටයුතු පැවැත්වෙන්නේ, ඇමෙරිකා පාර්ලිමේන්තුවේ (කොංග්‍රසය) විශේෂ කමිටුවක් ඉදිරියේය.

ලබන 2020 දී ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතය.

සිය දෙවැනි සහ අවසන් ධුර කාලය සඳහා රිපබ්ලිකන් පක්ෂයෙන් ට්‍රම්ප් යළි ඉදිරිපත් වීමට සූදානම් වෙයි.

ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට සූදානම් වන්නේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයයි. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් සතුවය.

2020 ජනපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ජෝ බයිඩන් ඉදිරිපත් වීමට සූදානම් වෙයි. ඩිමොක්‍රටික් පක්ෂයෙන් ජනපති ධුර අපේක්ෂකයා වීමේ වැඩි අවස්ථාවක් ඇත්තේ ද බයිඩන්ට බව පැවැසෙයි. ජෝ බයිඩන් හිටපු ඇමෙරිකාවේ උප ජනාධිපතිවරයෙකි.

ජෝ බයිඩන් ට ‘මඩ ගැසීමේ’ අරමුණින්, බයිඩන් ගැන විමර්ශනයක් පවත්වන්නැයි යුක්රේන ජනපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ඇතුළු රජයට ට්‍රම්ප්ගෙන් බලපෑම් එල්ල වී ඇත.

මේ බව අනාවරණය වූයේ ට්‍රම්ප් සහ යුක්රේන ජනපතිවරයා අතර පැවැති දුරකතන කතාබහ ප්‍රසිද්ධ වීමෙනි. එම කතාබහ සම්බන්ධයෙන් සියලු තොරතුරු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ලබා දී ඇත්තේ ධවල මන්දිරයේ කටයුතු කළ ඇමෙරිකන් සී.අයි.ඒ. බුද්ධි අංශයේ නිලධාරියෙකි.

ප්‍රතිවාදී දේශපාලන අපේක්ෂකයකුගේ කීර්ති නාමය කෙළසීමට ජනපති ට්‍රම්ප්, සිය බලතල යොදා ගැනීම වරදක් බව නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකා නැන්සි පෙලෝසි පෙන්වා දුන්නාය.

ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මඟ පෑදුණේ ඒ අනුවය.  පාර්ලිමේන්තු විශේෂ මණ්ඩලය හමුවේ සාක්ෂි කැඳවීම සිදුවන අතර, සියලු දේ ඇමෙරිකන් පුවත් නාළිකා ඔස්සේ සජීවීව විකාශය කෙරේ. ඒ, දෝෂාභියෝග විමර්ශන කටයුතු ප්‍රසිද්ධියේ පැවැත්විය යුතු බව තීරණය කිරීමත් සමඟය.

ඔබාමා ඇමෙරිකා ජනපති ධුරය හොබවද්දී, ජෝ බයිඩන් ඇමෙරිකන් උප ජනපති ලෙස කටයුතු කළේය. ඒ කාලයේ, බයිඩන්ගේ පුතු හන්ටර්, යුක්රේන තෙල් සමාගමක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කළේය.

‘බුරිස්මා’ නමැති මෙම තෙල් සමාගම අකටයුතුකම් රැසකට සම්බන්ධ බව එවකට පැවැති යුක්රේන රජයේ නීතිපතිවරයා චෝදනා නගන්න විය. ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ද නීතිපතිවරයා ආරම්භ කර ඇත. එම අවස්ථාවේදී, උප ජනපති ලෙස කටයුතු කළ බයිඩන්, එම විමර්ශන නවත්වන්නැයි බලපෑම් කර තිබේ.

ජනපති ට්‍රම්ප්, වත්මන් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කිට දුරකතනයෙන් පවසා ඇත්තේ, බයිඩන් කළ එම බලපෑම් සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණ පවත්වන ලෙසය. එසේ නොකරන්නේ නම්, යුක්රේනයට ලබා දෙන ආධාර නවත්වනවා යැයි ට්‍රම්ප් තර්ජනය කර ඇත.

මීට පෙර ඇමෙරිකන් ඉතිහාසයේ, දෝෂාභියෝගවලට මුහුණ දීමට සිදුවී ඇත්තේ ඇමෙරිකන් ජනපතිවරුන් දෙදෙනකුට පමණි. එයින් එක් අයකු වන්නේ ඇන්ඩෲ ජොන්සන් ය. අනෙක් ජනපතිවරයා බිල් ක්ලින්ටන්ය.

ඒත් දෝෂාභියෝග විමර්ශනයේදී මොවුන් දෙදෙනා වරදකරුවන් වූයේ නැත.

ජනපති රිචඞ් නික්සන්ට එරෙහිව ද දෝෂාභියෝගයක් ගෙන ඒම සිදුවිය. කෙසේ නමුත් ඊට පෙර නික්සන් ධුරයෙන් ඉවත් විය.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS