කිම් ජොන් උන් ඇවිල්ලා



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සමඟ පැවැත්වෙන ‘සාම සමුළුවට’ සහභාගී වීමේ අරමුණින් උතුරු කොරියා නායක කිම් ජොන් උන් සිංගප්පූරුව බලා පැමිණියේය.

කිම් ජොන් උන් විශේෂ නියෝජිත කණ්ඩායමක් සහ ආරක්ෂක නිලධාරීන් ද පිරිවරාගෙන විශේෂ ගුවන් යානයකින් සිංගප්පූරුව බලා පැමිණි බව වාර්තා වේ. සිංප්පූරුවේ චැංග් ගුවන්තොටුපොළේදී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් පිළිගනු ලැබුවේ සිංගප්පූරු විදේශ ඇමැති විවියන් බාලක්‍රිෂ්ණාන් විසිනි.

කිම් ජොන් උන් ඇතුළු පිරිස, රැඳී සිටිනු ඇත්තේ ශාන්ත රේගිස් තරු පහේ හෝටලයේය. උතුරු කොරියා නායකයා ගුවන්තොටුපොළේ සිට හෝටලය බලා ගියේ වෙඩි නොවදින මර්සිඩීස් බෙන්ස් ලිමෝසීන් මෝටර් රථයෙනි.

උතුරු කොරියා නායකයා නවාතැන් ගන්නේ අති සුඛෝපබෝගී කාමරයකය. එක් දිනකට එහි වියදම ඇමෙරිකන් ඩොලර් 8,000 කි. මෙම සුඛෝපබෝගී කාමරයේ ව්‍යායාම මධ්‍යස්ථානයක්, කුඩා නාන තටාකයක්, පියනෝවක් ඇතුළු පහසුකම් රැසකි. කෙසේ නමුත් හෝටලයේ බිල ගෙවීම සිදු කරන්නේ කවුරුන් විසින්දැයි මෙතෙක් වාර්තා වී නැති බව ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS