සුවවුණු ගණන ලක්ෂය පනී



‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට බිලිවුණු ගණන 16,505 ක් දක්වා ඉහළ යද්දී, වයිරසය ආසාදනය වී සම්පූර්ණයෙන් සුවය ලැබූ ගණන ලක්ෂය පසු කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයට නිවේදනය කළේ ‘කෝවිඞ් 19’ වයිරසය ආසාදනය වී සම්පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 1,00,982 ක් බවය. වයිරස ආසාදිතයන් සංඛ්‍යාව 3,78,601 ක් බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් සඳහන් වෙයි.

වයිරසය පාලනය කර ගත නොහැකිව දරුණු ලෙස හුබෙයි පළාතේ ව්‍යාප්ත වෙද්දී වූහාන් ඇතුළු හුබෙයි පළාතේ නගර රැසක් වසා දැමුණි. හුබෙයි පළාතේ රෝගය ආසාදනය වී සුවවුණු සංඛ්‍යාව 59,882 ක් බව චීන සෞඛ්‍ය බලධාරීහු පැවැසූහ.

මේ වනවිට චීනයේ වයිරසය පැතිරීම පාලනය වී ඇත. චීනයෙන් වයිරස ආසාදිතයන් හමුවීම අඩුවී ඇති නමුත් විදේශවල සිට පැමිණෙන චීන ජාතිකයන් අතරින් ආසාදිතයන් 74 ක් හමුවී ඇති බව ද පැවැසෙයි.

චීනයෙන් පිට වැඩිම අසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඉතාලියෙනි. ඉතාලියේ සුවවුණු ආසාදිතයන් ගණන 7,432 කි. ස්පාඤ්ඤයේ සුවවුණු ආසාදිතයන් ගණන 3,355 කි. දකුණු කොරියාවේ ආසාදිතයන් 3,166 ක් සුව වී ඇති බවත් ප්‍රංශයේ 2,200 ක් සුවවී ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

‘කෝවිඞ් 19’ වයිරසය ඉතා දරුණු ආකාරයට ව්‍යාප්තවන රටක් වන්නේ ඉරානයයි. ඉරානයේ සුවවුණු ආසාදිතයන් සංඛ්‍යාව 8,376 ක් ලෙස වාර්තා විය. ඉරාන රජය වයිරසයට මුහුණ දෙන්නේ ඇමෙරිකන් සම්බාධක මධ්‍යයේය.

ජිනීවාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS