කෑම නැතිව පලස්තීන බබා මැරිලා



ප්‍රමාණවත් ආහාරයක් නොලැබීමෙන් ශරීරය දුර්වලවීම නිසා උතුරු ගාසා තීරයේ මාස දෙකක් වයසැති පලස්තීන බිළිඳකු මිය ගොස් ඇති බව පලස්තීන මාධ්‍ය වාර්තා කළේය.

මහමුද් ෆටූ නම් මෙම බිළිඳා පසුගිය සිකුරාදා අල් ශිෆා රෝහලේදී මියගොස් ඇති බව පලස්තීන මාධ්‍ය සඳහන් කළේය.

ළමා මරණ වැඩිවිය හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා දවස් කිහිපයක් ගතවෙත්ම මෙම මරණය වාර්තා වී තිබෙන බව පලස්තීන මාධ්‍ය වාර්තා කළේය.අල් ශිෆා රෝහලේ ඇඳක් මත හුස්ම ගැනීමට උත්සාහ දරන එම දරුවාගේ වීඩියෝවක් ලැබී තිබෙන බවත් ඉන් මෙම සිදුවීම තහවුරු කර ගැනීමට හැකි වූ බවත් අල් ජසීරා පුවත් සේවය සඳහන් කළේය.

බිළිඳා රෝහලට රැගෙන ගිය එක් පරිපූරක වෛද්‍යවරයකු පවසා ඇත්තේ මහමුද්ගේ මරණයට හේතුව උග්‍ර මන්දපෝෂණයෙන් පෙළීම බවයි.දවස් ගණනකින් මහමුද් ළදරු කිරි නොලැබී ඇති බවත් ගාසා තීරය තුළ ළදරු කිරි මිලදී ගැනීමට හැකියාවක් නොමැති බවත් එම පරිපූරක වෛද්‍යවරයා පවසා ඇත.රෝහලට රැගෙන ආ වහාම දැඩි සත්කාර ඒකකයට යොමු කරත් මහමුද්ගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වූ බව රෝහල් බලධාරීහු ප්‍රකාශ කළහ.


RECOMMEND POSTS