ආධාර ගන්න පොර කෑ ගාසා වැසියන්ට වෙඩි තියලා



ගාසා තීරයේ, උන්හිටිතැන් අහිමි වූ පලස්තීන වැසියන්, ආධාර ලබා ගැනීමට පොරකද්දී, ඊශ්‍රායල හමුදා කළ වෙඩි තැබීමකින් 104 දෙනකු මියගොස් 760 දෙනකු තුවාල ලැබූ බව පලස්තීන සෞඛ්‍ය අංශ පවසයි.

ඊශ්‍රායල හමුදා පවසන ආකාරයට ඔවුන් මෙම පිරිසට වෙඩි තබා ඇත්තේ හමාස් සටන්කතාමීන් ඒ අතර සිටි බැවිනි. පලස්තීන පාලන අධිකාරිය චෝදනා නගා ඇත්තේ ඊශ්‍රායලය සිවිල් වැසියන් අමු අමුවේ ඝාතනය කළ බවටය.

මෙම වෙඩි තැබීමේ සිද්ධිය සැලවීමෙන් තමන් කම්පනයට පත්වුණු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත. ධවල මන්දිරය පවසා ඇත්තේ ගාසා තීරයේ සිදුවුණේ කුමක්දැයි වහා සොයා බලන බවය.

ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමේ අරමුණින්, සටන් ආරම්භ කළේ, හමාස් සටන්කාමීන් පසුගිය ඔක්තෝබරයේ, ඊශ්‍රායලයට කඩා වැදී පහර දීමෙන් පසුවය.

එදා සිට මේ දක්වා ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් මියගිය ගාසා පලස්තීන සිවිල් වැසියන් ගණන 30,000 කි. තුවාල ලැබූ පලස්තීන වැසියන් ගණන 70,000 ඉක්මවයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS