ඉරාන ජනපතිවරණය මැයි 19 වැනිදා



ඉරාන ජනාධිපතිවරණය ලබන මැයි 19 වැනිදා පැවැත්වීමට නියමිතය.

ජනපති ධුරය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන් ලියාපදිංචිවීම මේ වනවිට ආරම්භ වී ඇත.

හිටපු ජනපතිවරයකු වන මොහොමද් අහමදිනෙජාද් ද එසේ ලියා පදිංචි වූ අපේක්ෂකයන් අතර සිටින බව ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කරයි.

අපේක්ෂකයන් ලියාපදිංචි කිරීම සිදුවන්නේ ඉරාන මැතිවරණය බලධාරීන් සහ එරට ‘භාරකාර මණ්ඩලය’ මගිනි. ආරම්භ වී ඇති අපේක්ෂකයන් ලියාපදිංචි කිරීම අප්‍රේල් 15 වැනිදා අවසන් වෙයි.

ලියාපදිංචි වන අපේක්ෂකයන් අතරින් සුදුස්සන් තෝරා ගැනීම ‘භාරකාර මණ්ඩලය’ විසින් සිදු කරනු ලබයි. ඒ, අප්‍රේල් 16 වැනිදා සිට 20 තෙක් කාලයේය. එම කාලසීමාව ප්‍රමාණවත් නොවුණහොත් අප්‍රේල් 25 තෙක් ඒ සඳහා කල් ලැබෙනු ඇත. එම අපේක්ෂකයන්ට ඉරාන උත්තරීතර නායක අයතුල්ලා කොමේනිගේ අනුමැතිය හිමිවිය යුතුය.

ඉරාන ජනපතියරයාට ඉහළින් සිටින්නේ උත්තරීතර නායකයාය.

සුදුසුකම් සපිරුණු අපේක්ෂකයන් කවුරුන්දැයි ප්‍රකාශයට පත් කෙරුණු ඇත්තේ අප්‍රේල් 26 සහ 27 යන දිනවලදීය. සුදුසුකම් ලැබූ අපේක්ෂකයන් කවුරුන්දැයි නිවේදනය කරන්නේ ඉරාන අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශයයි.

ඉන්පසු අප්‍රේල් 28  සිට මැයි 17 තෙක් දින 20 ක කාලයක් එම අපේක්ෂකයන්ට ඡන්ද ප්‍රචාරක කටයුතුවල නියැලෙමින් මැතිවරණ රැළි පැවැත්වීමට අවස්ථාව උදාවෙයි. ජනපතිවරණය පැවැත්වෙන දිනට පෙර දින ප්‍රචාරක කටයුතුවල නියැලීම තහනම්ය.

මැයි 19 වැනිදා පැවැත්වෙන ජනපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට මේ මිලියන 55 ක් සුදුසුකම් ලබා සිටිති. ඡන්ද මධ්‍යස්ථාන 65,000 ක් රට පුරා පිහිටුවනු ලැබේ.

ඉරානයෙන් පිට රටවල් 140 ක වෙසෙන ඉරාන වැසියන් ද එම රටවල තානාපති කාර්යාල හරහා ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි ඉරාන මැතිවරණ බලධාරීහු පෙන්වා දෙති.

ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු අවසන් වුණු සැණින් ඡන්දය ගණන් කිරීම සිදුවෙයි. පසුදින ප්‍රතිඵල නිකුත් කෙරේ.

සියයට 50 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්න අපේක්ෂකයාට ජය හිමිවෙයි. එසේ නොවුණහොත් වැඩිම ඡන්ද ප්‍රතිශත හිමිකර ගන්නා අපේක්ෂකයන් අතරේ යළි ඡන්දයක් පැවැත්වෙයි. මෙම දෙවැනි වරට පැවැත්වෙනු ඇත්තේ මැයි 26 වැනිදාය.

ලුසිත ජයමාන්න
ප්‍රෙස් ටීවී ඇසුරිනි

 


RECOMMEND POSTS