අසාද් එක්ක කතා කරලා විසඳුමක් සොයා ගන්න



විසදුමක් නැති සිරියානු අර්බුදය විසඳීමට නම්, සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් සමඟ සාකච්ඡා පවත්වා, විසඳුමක් සොයා ගන්නැයි ඇමෙරිකාව සහ සෞදිය සිරියානු විපක්ෂයට දන්වා ඇතැයි ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කරයි.

මෙය සිරියානු විපක්ෂය පමණක් නොව, සිරියානු පාලනයේ වෙනසක් බලාපොරොත්තු වුණු ඇමෙරිකාව සහ සෞදිය ලැබූ විශාල පසුබෑමක් යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මීට වසර කීපයකට පෙර, මැදපෙරදිග විරෝධතා රැල්ලත් සමඟ, සිරියානු අර්බුදය නිර්මාණය වූයේ විපක්ෂය අවි අතට ගෙන සිරියානු රජයට එරෙහි සටන් වැදීමෙනි.

අයි.එස්. ත්‍රස්තයන් සහ අල් කයිඩා සංවිධානයට අයත් අල් නුස්රා සංවිධානය වෙන් වෙන්ව සිරියානු සන්නද්ධ විපක්ෂ කණ්ඩායම්වලට සහාය දැක්වීම ඇරැඹීය.

සිරියාවේ අසාද් රෙජීමය අවසන් වනු දැකීමේ අපේක්ෂාවෙන් ඇමෙරිකාවත් සෞදියත් සිරියානු විපක්ෂයට සහාය දැක්වූ අතර, ඇමෙරිකාව දුන් අවි ආයුදවලින් ශක්තිමත් වූයේ අයි.එස්. ත්‍රස්ත සංවිධානයයි. අද වනවිට අයි.එස්. සංවිධානය ලොව ප්‍රධාන පෙළේ ත්‍රස්ත සංවිධානයක් බවට පත් වී අවසන්ය.

ඇමෙරිකාවේ සහ සෞදියේ අපේක්ෂාව බිඳ වැටුණේ රුසියාව සිරියානු රජයට සහාය පළ කරමින් සටනට අවතීර්ණ වූ නිසාය. ඉරානය ද සහාය දක්වන්නේ ෂියා මුස්ලිම් නියෝජනයක් ද වන අසාද් රෙජීමයටය.

ඇමෙරිකානු මෙන්ම සෞදි නියෝජිතයන් සිරියානු විපක්ෂ නියෝජිතයන් හමුවී පවසා ඇත්තේ, සිරියානු ජනාධිපති අසාද් සමඟ සාකච්ඡා කර හටගෙන ඇති අර්බුදය ‘බේරුමක් කරගන්නැයි’ කියාය.

බලයෙන් ඉවත් කිරීමට නොහැකි හෙයින් සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් සමඟ සාකච්ඡා කොට, දේශපාලනික විසඳුමක් සොයා ගන්නා ලෙස ඇමෙරිකාව සහ සෞදිය සිරියානු විපක්ෂ කණ්ඩායම්වලට පවසා ඇතැයි ද වාර්තා වේ.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS