හිලරි යළි මැතිවරණ වේදිකාවේ





(ග්‍රීන්ස්බොරෝ)
නියුමෝනියා තත්ත්වයක් හේතුවෙන් දින කිහිපයක් ප්‍රතිකාර ලබමින්, තෙදිනක් විවේක ගත් ඇමෙරිකන් ජනපති ධුර අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් ඊයේ (16) යළි මැතිවරණ වේදිකාවට පිවිසුණාය.
ඇමෙරිකන් මාධ්‍ය සහ සමාජ ජාල වෙබ් අඩවි සිදු කරන සමීක්ෂණවලට අනුව, හදිසියේ අසනීප වීම හිලරි ක්ලින්ටන් හට අවාසියක් සිදුවී ඇත.
එම සමීක්ෂණවලට අනුව, මේ වනවිට ඉදිරියෙන් සිටින්නේ ප්‍රතිවාදි රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප්ය. ඇමෙරිකානු ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ ලබන නොවැම්බර් අට වැනිදාය.
68 හැවිරිදි හිලරි ක්ලින්ටන් මනා සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත්, ඇය ඊයේ දිනයේ දී ඇය වෙනුවෙන් වෙන් කර දී ඇති විශේෂ ගුවන් යානයෙන් උතුරු කැරොලිනා ජනපදය බලා ගියේ, ග්‍රීන්ස්බොරෝ ප්‍රාන්තයේ පැවැත් වුණු මැතිවරණ රැළිවලට සහභාගී වීමටය.
මේ අතර හිලරි ක්ලින්ටන් පසුගිය ජනවාරියේ දී හොර රහසේම වෛද්‍ය පරීක්ෂණයකට සහ ප්‍රතිකාර මාලාවකට භාජන වුණැයි ඇමෙරිකන් මාධ්‍යවලට අනාවරණය වී ඇත. ඇතැම් මාධ්‍ය වාර්තා කළේ පසුගිය ජනවාරියේ ඇය එහසේම සැත්කමකට ද භාජනය වුණු බවය.
මේ සම්බන්ධයෙන් හිලරි ක්ලින්ටන් ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ තමා තමාගේ සියලු වෛද්‍ය වාර්තා ඇමෙරිකන් ජනතාවට ප්‍රසිද්ධ කරන බවත්, තමාට සැඟවීමට දෙයක් නැති බවත්ය.
හිලරි නියුමෝනියාව හේතුවෙන් රෝගී වූ පසුගිය 9/11 ප්‍රහාරයේ සැමැරුම දා, එම සැමැරුමට සහභාගී වූයේ හිලරි ක්ලින්ටන් නොව, ඇගේ රුවට සමාන අයකු බවත්, හිලරි ඒ වනවිටත් රෝගීවී සිටි බවත් ඇතැම් ඇමෙරිකන් ‘ඕපාදූප’ පුවත් සේවා වාර්තා කර තිබුණි.
‘හිලරි ක්ලින්ටන්ලා දෙදෙනකු’ සිටිනවා යැයි මාධ්‍ය වාර්තා පළ වීමත් සමඟ මේ වනවිට ඇමෙරිකන් වැසියන් ද අන්දුන් කුන්දුන් වී සිටින බව එරටින් ලැබෙන පුවත් සේවා වාර්තා කරයි.


RECOMMEND POSTS