ඇමෙරිකා ජනපතිවරණය 2016: ට්‍රම්ප්ට කාන්තා හිංසන චෝදනා



 

 (රොයිටර්)

ඇමෙරිකා ජනපතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් තමන්ට අතවර කරන්න හැදුවැයි පවසන කාන්තාවන් දෙදෙනකු ඔවුන් ලැබූ එම අමිහිරි අත්දැකීම් නිව්යෝක් ටයිම්ස් පුවත්පතට හෙළි කර තිබේ.

නිව්යෝක් ටයිම්ස් පුවත්පත එම කාන්තාවන් දෙදෙනාගේ අත්දැකීම් ප්‍රසිද්ධියට පත් කිරීමට පියවර ගෙන ඇත. ට්‍රම්ප්ට චෝදනා කරන එම කාන්තාවන් දෙදෙනා ජෙසිකා ලීඩ්ස් සහ රේචල් කුක්ය.

ජෙසිකා ලීඩ්ස් 74 හැවිරිදි වියෙහි පසුවන්නීය. ඇය මැන්හැටන්හි පදිංචිකාරියකි. ට්‍රම්ප්ගේ ‘අතවරයට’ ලක් වෙද්දී තමන් 38 හැවිරිදි වියෙහි පසුවූ බව ඇය කියයි. 

ඇය නිව්යෝක් බලා ගුවන් ගමනකට එක් වුණු අවස්ථාවක, ට්‍රම්ප් ද එම යානයේ ගමන් කර ඇති අතර, ඔහු තමා ස්පර්ශ කිරීමට උත්සාහ ගත්තේ යැයි ජෙසිකා ලීඞ්ස් කියයි. ‘එයා බූවල්ලෙක් වගේ මා බදා ගන්න හැදුවා’ යැයි ඇය වැඩි දුරටත් පවසා ඇත.

ට්‍රම්ප්ගේ ‘අතවරයට’ ලක් වුණැයි කියන රේචල් කුක් අවුරුදු 22 ක් වයසැති තරුණියකි. ඇය ට්‍රම්ප්ගේ දේපොළ වෙළෙඳාම් සමාගමේ පිළිගැනීමේ නිලධාරිනියක ලෙස රැකියාව කළ තරුණියකි. ට්‍රම්ප් බලෙන් තමා ස්පර්ශ කරමින් සිප ගැනීමට උත්සහ කළේ යැයි ඇය චෝදනා කරයි. එම සිදුවීමෙන් පසු ඇය රැකියාවෙන් ඉල්ලා අස්වුණු බව ද පැවැසෙයි.

මෙම චෝදනා සම්බන්ධයෙන් ට්‍රම්ප් පවසා ඇත්තේ ප්‍රතිවාදී හිලරි ක්ලින්ටන් සහ ඇගේ ඩිමොක්‍රටික් පාක්ෂිකයන් තමන්ට ‘මඩ’ ගැසීමේ අරමුණින් කළ කුමන්ත්‍රණයක් බවය. තමන් එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ද ට්‍රම්ප් වැඩි දුරටත් කියා සිටී.

ඩොනල්ඞ් ට්‍රම්ප් කෝටිපති ව්‍යාපාරිකයෙකි. දේපොළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ සහ ලෝක රූ රැජින තරගාවලි සංවිධානය කිරීමෙහිලා පුරෝගාමියකු ලෙස ද ඩොනල්ඞ් ට්‍රම්ප් සැලකෙයි.

ට්‍රම්ප් කාන්තාවන්ට ලොල් චරිතයක් ඇත්තකු බවටත්, අපහාසාත්මක කතා කියමින් කාන්තාවන් හෑල්ලුවට ලක් කරන අයකු බවටත් චෝදනා එල්ල වී ඇත.

2005 වසරේ දී ට්‍රම්ප් සම්බන්ධ වීඩියෝ දසුන් පෙළක් ද මේ වනවිට ප්‍රසිද්ධියට පත්ව ඇත. එම වීඩියෝ දසුන් ප්‍රසිද්ධියට පත් වීමෙන් පසු ට්‍රම්ප්ට සහාය දීම ප්‍රතික්ෂේප කිරීමට රිපබ්ලිකන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් රැසක් තීරණය කර ඇතැයි ද වාර්තා වේ.

ඇමෙරිකා ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ ලබන fානවැම්බර් 8 වැනිදාය. ඇමෙරිකන් ජනාධිපතිවරණයට පෙර පසුගිය 9 වැනිදා පැවැති දෙවැනි විවාදයෙන් පසු ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ගේ ජනප්‍රියත්ව ඉහළ ගොස් ඇති බවත් ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය පහළ ගොස් ඇති බවත් වාර්තා වේ. 

එම විවාදයෙන් පසුව ද ඇමෙරිකන් මාධ්‍ය ආයතන ජනමත සමීක්ෂණ පැවැත් වූ අතර ඒවායින් අනාවරණය වූයේ රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප්ට වඩා හිලරි ක්ලින්ටන් බොහෝ සෙයින් ඉදිරියෙන් සිටින බවය. ප්‍රතිශතයක් වශයෙන් එය සියයට 57 ක් සහ 34 කි.


RECOMMEND POSTS