ඇමෙරිකන් ජනාධිපතිවරණය: හිලරි - ට්‍රම්ප් පළමු විවාදය අද



 

නොවැම්බර් 8 වැනිදා පැවැත්වීමට නියමිත ඇමෙරිකන් ජනපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන ඩිමොක්‍රටික් පාක්ෂිකා හිලරි ක්ලින්ටන් සහ රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඞ් ට්‍රම්ප් අතරේ පළමු රූපවාහිනී විවාදය අද (26) ආරම්භ වෙයි.

ඇමෙරිකාවේ මැතිවරණ ක්‍රමයට අනුව, ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා ඔවුන්ගේ මැතිවරණ රැළි අවසන් කරන්නේ මෙවැනි විවාද කිහිපයකට සහභාගී වීමෙන් පසුවය. මෙවැනි විවාදවලට පක්ෂ දෙකම නියෝජනය කරමින් ආධාරකරුවන් සහ නියෝජිතයෝ ද සහභාගී වෙති.

හිලරි ක්ලින්ටන් සහ ඩොනල්ඞ් ට්‍රම්ප් අතරේ නොවැම්බර් 8 වැනිදා ට පෙර මෙවැනි විවාද තුනක් පැවැත්වෙනු ඇත. තමන් ඡන්දය දිය යුත්තේ කාටදැයි ජනතාව තීරණයක් ගනු ඇත්තේ ද මෙම විවාදවලින් පසුවය.

අද දිනයේ විවාදය පැවැත්වෙන්නේ නිව්යෝක් හි ලෝන්ග් අයිලන්ඞ් හෙම්ස්ටීඞ් විශ්ව විද්‍යාලයේය. විනාඩි 15 බැගින් අවස්ථා 6 ක් හිලරිට සහ ට්‍රම්ප්ට හිමි වන අතර, ඇමෙරිකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් තම තමන් ජනපති ධුරයට පත් වී කරන්නේ කුමක්ද යන්න අපේක්ෂකයන් දෙදෙනා පැහැදිලි කළ යුතු වෙයි. විවාදය මෙහෙයව වීම සිදු කරනු ලබන ඇත්තේ ප්‍රවීණ මාධ්‍යවේදියකු හෝ විද්වතෙකු විසිනි. ප්‍රශ්න ඇසීම සිදු කරන්නේ එම මාධ්‍යවේදිකා විසිනි.

තම තමන්ගේ දෙස් විදෙස් ප්‍රතිපත්ති, ඡන්ද පොරොන්දු ආදී සියල්ල ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා ජනතාවට යළි හෙළි කරන්නේ ද මෙම විවාදවලිනි.

මෙම විවාද හරහා ද සමීක්ෂණ පැවැත්වෙන අතර වැඩි වාසි කාටදැයි සොයා බැලෙයි. ඇමෙරිකන් මාධ්‍ය ආයතන මෙතෙක් කර ඇති සමීක්ෂණ අනුව, හිලරි ක්ලින්ටන් දශම ගණනකින් ඩොනල්ඞ් ට්‍රම්ප් අභිබවා ගොස් සිටින්නීය.

68 හැවිරිදි හිලරි ක්ලින්ටන්ගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් මේ වනවිට ගැටලු ඉස්මතු වී ඇත. තමන් හොඳ නිරෝගීව සිටිනවා යැයි හිලරි සහ ඇගේ වෛද්‍යවරු පවසති.

කෙසේ නමුත් ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරන්නේ හිලරි සෞඛ්‍ය පිරිහීමකට ලක්වී ඇති බවය. ඇයගේ මොළයේ ආබාධයක් ඇති බවටත්, ඇය ඒ ගැන ජනතාවගෙන් වසං කරන බවටත් ප්‍රතිවාදී රිපබ්ලිකන් පාක්ෂිකයෝ චෝදනා කරති. මීට දින කිහිපයකට පෙර ඇයට නියුමෝනියා වැළැඳුණු බව ද වාර්තා විය. ඇය දින තුනක් මැතිවරණ කටයුතුවලින් විවේක ගත් බව ද වාර්තා විය.

 


RECOMMEND POSTS