හිලරිගේ රැලියට මිෂෙල් ඔබාමා ඇවිල්ලා



 

 (රොයිටර්)

 

ඇමෙරිකා ජනපතිධුර අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් උතුරු කැරොලිනා ජනපදයේ ඊයේ (27) පැවැත්වූ ඩිමොක්‍රටික් පක්ෂ ජන රැලියට ආරාධිත අමුත්තියක ලෙස වත්මන් ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමාගේ බිරිය මිෂෙල් ඔබාමා ද සහභාගී වූවාය.
රැස්ව සිටි පිරිස ප්‍රීති ඝෝෂා කරද්දී, වේදිකාවට ගොඩවෙමින් ජනපති ආර්යාව මිෂෙල් ඔබාමා කියා සිටියේ, ඇමෙරිකාවේ ජනපති ධුරයට පත්වන පළමු කාන්තාව හිලරි ක්ලින්ටන් වනු ඇති බවත්, සේනාධිනායිකාව ලෙස ඇය විශිෂ්ඨ මෙහෙවරක් සිදු කරනු ඇති බවත්ය.
එම ජන රැලියට 11,000 කට වැඩි පිරිසක් පැමිණ සිටියහ. තමා හිලරි ක්ලින්ටන්ට සහාය පළ කරන්නේ ඇය කාන්තාවක වීම නිසා බවත්, කාන්තා ශක්තිය පෙන්වීමට හිලරි ක්ලින්ටන් සමත් වනු ඇති බවත් මිෂෙල් ඔබාමා වැඩි දුරටත් කියා සිටියාය.
ඇමෙරිකා ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් 8 වැනිදාය. ඊට ඇත්තේ තව දින 12 ක පමණ කාලයකි. මීළඟ ජනපති කවුරුද යන්න සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතන දිගින් දිගටම සමීක්ෂණ පවත්වයි.
මුලදී පැවැත්වුණු ජනමත සමීක්ෂණවලදී අනාවරණය වූයේ හිලරි ක්ලින්ටන්, ට්‍රම්ප්ට වඩා බෙහෙවින් ඉදිරියෙන් සිටින බවය. කෙසේ නමුත් ඊයේ (27) අවසන්වරට නිකුත් කළ එම ජනමත සමීක්ෂණයේ දී හෙළිවූයේ හිලරි ක්ලින්ටන් සහ රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් අතරේ කරටකර සටනක් පැවැත්වෙනු ඇති බවය.

RECOMMEND POSTS