හිලරි ජනපති වුණොත් තෙවැනි ලෝක යුද්ධය ඇතිවේවි - ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි



 

 

 

 (රොයිටර්)
ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් ඇමෙරිකාවේ මීළඟ ජනාධිපති වුවහොත්, තුන්වන ලෝක යුද්ධයක් ඇතිවීම වැළැක්විය නොහැකි යැයි ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් පවසයි.
ට්‍රම්ප් මේ බව පවසා ඇත්තේ සිරියානු අර්බුදය සම්බන්ධයෙන් හිලරි ක්ලින්ටන් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති සම්බන්ධයෙනි. වත්මන් ඇමෙරිකා ජනාධිපති ඔබාමා සේම, හිලරි ද උත්සාහ ගන්නේ සිරියාවේ ඇමෙරිකා හිතවාදී සටන්කාමීන්ට සහාය දී සිරියානු රජය පෙරළා දැමීමටය. මෙම සටන්කාමීන් අතරේ අල් කයිඩා හිතවාදීහු ද සිටිති.
ඇමෙරිකාවේ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන නොවැම්බර් අට වැනිදාය. ජනාධිපතිවරණයෙන් ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් නිසැකමව ජයග්‍රහණය කරනු ඇතැයි නවතම සමීක්ෂණවලින් හෙළි වී ඇත.
මෙම ජනමත සමීක්ෂණය පවත්වා ඇත්තේ ඒ.බී.සී. සහ වොෂින්ටන් පෝස්ට් මාධ්‍ය මගිනි. ඒ අනුව, හිලරිගේ ජනප්‍රියත්වය සියයට 50 ක් බවත්, ප්‍රතිවාදී ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය සියයට 38 ක් පමණක් බවත් වාර්තා වේ.
ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය සීඝ්‍රයෙන් අඩු වීමට හේතුවක් වී ඇත්තේ කාන්තාවන්ට ලිංගික කෙණෙහෙළිකම් කළේ යැයි දිගින් දිගටම චෝදනා එල්ල වුණු නිසාය.
හිලරි ක්ලින්ටන් හිටපු ඇමෙරිකන් ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ බිරියයි. ඇය මිත්තණියකි. ඔබාමාගේ පළමු ධුර කාලයේ රාජ්‍ය ලේකම් ධුරය හෙබවූයේ ද ඇයයි. ඇය මෙවර ජයග්‍රහණය කළහොත් ඇමෙරිකාවේ ජනපති ධුරයට පත්වන පළමු කාන්තාව වනු ඇත.

RECOMMEND POSTS