හිලරි--ට්‍රම්ප් අවසන් විවාදයත් ඉතා උණුසුම්



 

 (රොයිටර්)

 

ඇමෙරිකා ජනාධිපතිවරණයට පෙර, ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන ඩිමොක්‍රටික් අපේක්ෂක හිලරි ක්ලින්ටන් සහ රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් අතර අවසන් විවාදය ඊයේ (20) නෙවාඩාහි ලොස් ඇන්ජලීස් විශ්ව විද්‍යාල ශ්‍රවණාගාරයේදී ඉතා උණුසුම් අයුරින් පැවැත්විණි.

ඇමෙරිකා ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ නොවැම්බර් 8 වැනිදාය. ඊට පෙර, අපේක්ෂකයන් දෙදෙනා මුහුණට මුහුණ හමුවන සජීවී රූපවාහිනී විවාද තුනක් පැවැත්වෙයි. තමන් ඡන්දය දෙන්නේ කාටදැයි ඇමෙරිකානුවන් තීරණය කරන්නේ මෙම විවාදවලිනි. ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරුදීම සහ අපේක්ෂකයන් දෙදෙනා තම තමන්ගේ දෙස් විදෙස් ප්‍රතිපත්ති ජනතාවට පැහැදිලි කරන්නේ ද මෙම විවාද හරහාය.

පළමු සහ දෙවැනි විවාද ද ඉතා උණුසුම් වූ අතර, අපේක්ෂකයෝ දෙදෙනා එකිනෙකාට බැණ ගනිමින් චෝදනා එල්ල කර ගත්හ. ලොස් ඇන්ජලීස් විශ්ව විද්‍යාලයේහි පැවැත්වුණු අවසන් විවාදය ඊටත් වඩා උණුසුම් විය.

කෙසේ නමුත් පළමු සහ දෙවැනි විවාදයෙන් පමණක් නොව මෙම විවාදයෙන් ද අවසානයේ ඉදිරියට පැමිණීමට සමත් වූයේ හිලරි ක්ලින්ටන්ය. ඒ බව අනාවරණය වූයේ මාධ්‍ය ආයතන විවාදයෙන් පසු කළ සමීක්ෂණවලිනි. ඒ අනුව, ලබන නොවැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයේදී හිලරි ක්ලින්ටන් ජයග්‍රහණය කළහොත් ඇය ඇමෙරිකාවේ ජනපති ධුරයට පත් වන පළමු කාන්තාව වනු ඇත.

මිනිත්තු 90 ක් පුරා පැවැති විවාදය ඇමෙරිකන් පුවත් නාළිකා ඔස්සේ සජීවි ලෙස විකාශය වූයේ වෙළෙඳ දැන්වීම්වලින් තොරවය. ට්‍රම්ප් සහ හිලරි විවාදය අවසන් කළේ එකිනෙකාට අතටඅත දීමක්වත් නොකරය. ට්‍රම්ප්ගේ බිරිය, දියණියන් ද මෙවර විවාදයට සහභාගී වූ අතර හිලරි ක්ලින්ටන්ගේ සැමියා බිල් ක්ලින්ටන් සහ දියණිය විවාදයට සහභාගී වූහ. පළමු සහ දෙවැනි විවාදවලට ද මොවුහු පැමිණ සිටියහ. පළමු සහ දෙවැනි විවාදවලදී මෙන් නොව, මෙහිදී මොවුන් ද එකිනෙකාට අතට අත නොදුන් බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කර තිබේ.

තෙවැනි විවාදය මෙහයවනු ලැබුවේ ෆෝකස් පුවත් සේවයේ මාධ්‍යවේදී ක්‍රිස් වොලස් විසිනි. විවාදය ආරම්භ වූයේ ඉතා සාමකාමීවය. එය උණුසුම් වූයේ නීතිවිරෝධී සංක්‍රමණිකයන් සම්බන්ධයෙනි. ඉන්පසු සිරියාවේ සහ ලිබියාවේ ගැටුම් ගැනත් ගැටුම් නිසා අවතැන්ව සරණාගතයන් බවට පත් වුණු සිවිල් වැසියන් ගැනත් විවාද හටගත්තේය.

සිරියානු අර්බුදය සහ ගෝලීය ත්‍රස්තවාදය පිළිබඳ කතාබහක් ඇති විය. එහිදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමීප මිතුරකු ලෙස තබා ගැනීමට තමන් කටයුතු කරන බව ට්‍රම්ප් පැවැසීය. ඊට එරෙහිව අදහස් දක්වමින් හිලරි ක්ලින්ටන් කීවේ ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනපති වුවහොත්, ඔහු පුටින්ගේ රූකඩයක් වනු ඇති බවය.

විදෙස් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් හිලරි වැඩිදුරටත් කියා සිටියේ, තමන් ඇමෙරිකානු හිතවාදීන් සමඟ පවතින සබඳතා ශක්තිමත් කර ගන්නා බවය. ඇය ට්‍රම්ප්ට දොස් පවරමින් කියා සිටියේ ඔහු විදෙස් මිතුරන් සතුරන් කර ගැනීමට උත්සාහ ගන්නා බවය.

ඇමෙරිකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ට්‍රම්ප් ඉදිරිපත් කළ යෝජනාවලට හිලරි ක්ලින්ටන්ගේ විරෝධය එල්ල විය. ට්‍රම්ප් කියා සිටියේ ඇමෙරිකාවේ ආර්ථිකය මෝඩ යැයි කියාය. හොඳ රැකියා අවස්ථා උදා කරදීමට විධිමත් ආර්ථික ප්‍රතිපත්ති තමන් හඳුන්වා දෙන බව ට්‍රම්ප් කියා සිටියේය. කෙසේ නමුත් බදු වැඩි කිරීමක් නොකරන බව ට්‍රම්ප් පැවැසුවේය. හිලරි ක්ලින්ටන් කියා සිටියේ ඇමෙරිකාවේ දැවැන්ත රැකියා සැපැයීමේ වැඩසටහනක් ආරම්භ කරන බවය.

ලෝක දේශපාලනයේ බොහෝ දෙනා, රටරටවල ඇතැම් නායකයන් පමණක් නොව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු ද පවසා ඇත්තේ රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමෙරිකාවේ මීළඟ ජනපති වුවහොත් එය මුළු ලොවටම එය ලොකු තර්ජනයක් වනු ඇති බවය.

මේ අතර, හිලරි ක්ලින්ටන් සහ ඇයට සහාය දක්වන මාධ්‍ය ආයතන එක් වී, ඇයට වාසි වන අයුරින් ජනපතිවරණයේ ප්‍රතිඵල වෙනස් කිරීමට කුමන්ත්‍රණය කරන බවට ඩොනල්ඞ් ට්‍රම්ප් චෝදනා කර තිබේ. හිලරි ක්ලින්ටන්ට සහාය දක්වන මාධ්‍ය පමණක් නොව, ඇතැම් මැතිවරණ බලධාරීන් පවා මෙම කුමන්ත්‍රණයට හවුල් වී සිටිනවා යැයි ට්‍රම්ප් වැඩි දුරටත් කියා සිටී. 

විවාදය අවසානයේ ජනපතිවරණ ප්‍රතිඵලය පිළිගන්නවාදැයි ට්‍රම්ප්ගෙන් විමසූ අවස්ථාවේදී ට්‍රම්ප් මෙසේ පැවැසීය. ‘ඒක අපි ඒ වෙලාවට බලමු. ඒ වෙලාවට මොනවායින් මොනවාවේදැයි දන්නේ නැහැ.’


RECOMMEND POSTS