මෙවර ජනපතිවරණය පහත් තත්ත්වයකට වැටිලා - රාජ්‍ය ලේකම් ජෝන් කෙරී කියයි



 (ප්‍රෙස් ටීවී)

තව නොබෝ දිනකින් පැවැත්වීමට නියමිත ඇමෙරිකා ජනාධිපතිවරණය, ඉතිහාසයේ අන් කවදාකටවත් වඩා ඉතා පහළ මට්ටමකට පත් වී ඇති බවත්, ඡන්දය දිය යුත්තේ කාටදැයි යන්න සම්බන්ධයෙන් ඇමෙරිකන් ජනතාව තුළ ‘කුහුලක්’ ඇති කිරීමට එය සමත් වී ඇති බවත් ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසයි.

ජෝන් කෙරී මේ වනවිට සිටින්නේ බි්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර සංචාරයක යෙදෙමිනි. ඔහු පෙරේදා (31) බි්‍රතාන්‍ය පුරපති සදීක් ඛාන් සමඟ ලන්ඩන් විශ්ව විද්‍යාල සිසු සිදුවියන් හමුවේ දේශනයක් පැවැත්වීය. ජෝන් කෙරී ඇමෙරිකන් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිය ‘අවංක’ අදහස් දැක්වූයේ එම අවස්ථාවේදීය.

‘මෙවර ජනපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් දෙදෙනා ගැන ඇමෙරිකානුවන් තුළ දැන් ‘සැකයක්’ මතු වී තිබෙනවා. ඒ නිසා කාට ඡන්දය දිය යුතුද යන්න ප්‍රශ්නයක්. ඡන්දය දෙන්න ඕනෑ හිලරිට ද ට්‍රම්ප්ට ද යන්න මටත් ප්‍රශ්නාර්ථයක්’ යැයි ජෝන් කෙරී පැහැදිලි කෙළ්ය.

ඇමෙරිකාවේ පළමු කළු ජාතික ජනාධිපති ලෙස බැරැක් ඔබාමා එම ධුරයට පත් වූයේ 2008 වසරේදීය. පළමු ධුර කාලයේ දී ඔබාමාගේ රාජ්‍ය ලේකම්වරිය වූයේ හිලරි ක්ලින්ටන්ය. ජෝන් කෙරී එම ධුරයට පත් වූයේ ඔබාමාගේ දෙවැනි ධුරය ආරම්භ වෙද්දීය. 

තමාගේ සහාය හිලරිට හිමිවන බව ඔබාමා තරයේ කියා සිටියේය. තමා හිලරිට ඡන්දය දෙන බව ද ඔබාමා පවසා තිබුණි. මීට දින කිහිපයකට පෙර, කාටත් කලින් ඔබාමා සිය ඡන්දය ප්‍රකාශ කළේය. ඇමෙරිකාවේ ඡන්ද ක්‍රමයට අනුව වේලාසනින් ඡන්දය ප්‍රකාශ කළ හැකිය. ඔබාමාගේ බිරිය මිෂෙල් ද පවසා ඇත්තේ තමන් හිලරිට සහාය දක්වන බවය. මිෂෙල් තවමත් ඇගේ ඡන්දය ප්‍රකාශ කර නැත.

ඊ මේල් අවභාවිතය සම්බන්ධයෙන් හිලරි ක්ලින්ටන් මේ වන විට අර්බුදයකට මුහුණ දී සිටින්නීය. ඒ සම්බන්ධයෙන් එෆ්.බී.අයි. පරීක්ෂකයන් අලුත් පරීක්ෂණයක් ද ආරම්භ කර ඇත. කාන්තාවන්ට නිගරු කරන චරිතයක් ලෙස ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමෙරිකානු ජනතාවගේ අප්‍රසාදයට ලක් වී සිටී. රිපබ්ලිකන් පක්ෂයෙන්ම පවා ඔහුට අප්‍රසාදයක් එල්ල වී ඇත.

ට්‍රම්ප් අවස්ථා කිහිපයකදී පවසා ඇත්තේ මෙවර ජනපතිවරණයේදී ‘ඡන්ද මගඩි’ සිදුවිය හැකි බවය. අවසන් ඡන්ද ප්‍රතිඵලය හිලරි ක්ලින්ටන්ට වාසි වන අයුරින් වෙනස් වනු ඇතැයි ද ට්‍රම්ප් පවසා ඇත.

‘2004 වසරේදී මමත් ජනපති ධුර අපේක්ෂකයකු ලෙස තරග වැදුණා. එදා අප විවාද කළේ දෙස් විදෙස් ප්‍රතිපත්ති ගැන. එකිනෙකාට පෞද්ගලික වශයෙන් ‘මඩ ගසා ගැනීම්’ කළේ නැහැ. ජයග්‍රහණය කළ අය දිහාත් පරාජය වුණු අපේක්ෂකයන් දිහාත් ජනතාව බැලුවේ ගෞරවයෙන්. ඒත් මෙවර ජනපතිවරණයේදී එවැනි දෙයක් දකින්න ලැබෙන්නේ නැහැ.’ යැයි ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී වැඩි දුරටත් කියා සිටී.

මේ අතර රොයිටර් පුවත් සේවය සිදුකළ නවතම ජනමත සමීක්ෂණයකින් අනාවරණය වූයේ ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප්ට වඩා හිලරි මේ වනවිට සියයට 5 කින් ඉදිරියෙන් සිටින බවය. රොයිටර් පුවත් සේවයේ ජනමත සමීක්ෂණයට අනුව හිලරි ක්ලින්ටන් සියයට 44 ක් ද ට්‍රම්ප් සියයට 39 ක් ද හිමි කර ගෙන සිටී. කෙසේනමුත් ඒ.බී.සී. සහ වොෂින්ටන් පෝස්ට් පුවත් සේවා සිදු කළ සමීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ හිලරි සහ ට්‍රම්ප් අතර කරට කර සටනක් පැවැත්වෙනු ඇති බවය.

 


RECOMMEND POSTS