ධවල මන්දිර සටන දැන් කරට කර



 (රොයිටර්)
ඇමෙරිකාවේ ජනාධිපතිවරයා තෝරා ගැනීමේ සටන මේ වනවිට කරට කර තත්ත්වයකට පත්ව ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කළේය. 
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පසුගිය සතිය පුරාම කරන ලද ජනමත විමසුම්වලින් උස් පහත්වීම් පෙන්නුම් කළ ද බී.බී.සී පුවත් සේවය අද (4) ඉදිරිපත් කළ සමීක්ෂණ වාර්තාවලට අනුව හිලරි ක්ලින්ටන් හා ඩොනල්ඞ් ට්‍රම්ප් යන දෙදෙනාම සම තත්ත්වයේ පසූවහ. එම ජනමත විමසුමෙන් ඔවුන් දෙදෙනාම සියයට 45 බැගින් ලබාගෙන තිබුණි.
ඩොනල්ඞ් ට්‍රම්ප් ජයගත යුතු යැයි සඳහන් ව තිබූ ප්‍රාන්තවලින් හිලරි ක්ලින්ටන්ට වැඩි ජනප්‍රියත්වයක් හිමිව ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.  
ෆ්ලෝරීඩා හා උතුරු කැරොලිනා ප්‍රාන්තවල කරන ජනමත විමසුම්වලදී හිලරි ක්ලින්ටන් හා ඩොනල්ඞ් ට්‍රම්ප් දෙදෙනාම සම තත්ත්වයේ පසුවන බවත් මිචිගන්හි හිලර් ක්ලින්ටන් ඉදිරියෙන් පසුවන බව ද රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. එසේ වුවද එහි හිලරි හා ට්‍රම්ප් අතර ඇති පරතරය ක්‍රමයෙන් අඩු වී ඇතැයි ද එහි අවසන් ප්‍රතිඵලය අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇතැයි ද වාර්තා විය. ඔහියෝහි තත්ත්වය දැඩි උණුසුම් තත්ත්වයක් ගෙන ඇතැයි ද පෙනිසිල්වේනියාවේ ජය හිලරි ක්ලින්ටන්ට හිමි වනු ඇතැයි ද පැවසේ. 
කෙසේ වෙතත් තවමත් ජනාධිපතිවරණයේ ජය හිලරි ක්ලින්ටන්ට හිමිවීමේ වැඩි අවස්ථාවක් ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. ජයග්‍රහණය කිරීම ට්‍රම්ප්ට තරමක දුෂ්කර කාර්යයක් වී ඇතැයි එම වාර්තා සඳහන් කරයි. ඡන්දය ප්‍රකාශ කරන ප්‍රතිශතය 2012 වසර හා සැසඳීමේදී දැඩි ලෙස පහළ ගියහොත් පමණක් එම තත්ත්වය වෙනස් වනු ඇතැයි ද පැවසේ.  
ෆ්ලෝරීඩා හා උතුරු කැරොලිනා ප්‍රාන්ත ඩොනල්ඞ් ට්‍රම්ප් ජය ගත්තද ධවල මන්දිරයට යෑමට තවමත් හිලරි ක්ලින්ටන්ට අවස්ථා තිබෙන බව ද ජනමත විමසුම්වලදී තවදුරටත් අනාවරණය වී ඇත. 
ජනාධිපතිවරණයෙන් ජයගැනීමට නම් අපේක්ෂකයන් දෙදෙනාගෙන් එක් අයෙක් මැතිවරණ මණ්ඩල ඡන්ද 270ක් දිනා ගත යුතුය. ජනාධිපතිවරණයේදී එක්සත් ජනපද පුරවැසියන් සෘජුව ජනාපතිවරයා තෝරා පත් කර නොගන්නා අතර ඒ වෙනුවට ඔවුහු ඡන්ද හිමියන් තෝරා පත් කරගනිති. එම ඡන්ද හිමියෝ අපේක්ෂකයන්ට ඡන්දය දෙන අතර, ජනාධිපතිවරයා පමණක් නොව උප ජනාධිපතිවරයා ද තෝරා පත් කර ගනිති. ඇමෙරිකාවේ මැතිවරණ මණ්ඩලයේ එලෙස ඡන්ද හිමි සාමාජිකයන්  538 දෙනෙක් වන අතර ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමට එම පිරිසෙන් ඡන්ද 270ක් අවශ්‍ය වෙයි. 
හිලරි ක්ලින්ටන් මැතිවරණ මණ්ඩලයේ ඡන්ද 538න් ඡන්ද 270 ලබාගැනීමේ අවස්ථාව මේ සතිය අවසන් වනවිට සියයට 95 සිට සියයට 90 දක්වා පහත වැටී ඇතැයි ද වාර්තා වේ. ජනාධිපතිවරණය බදාදා (2) වැනිදා පැවත්වූවා නම් හිලරි ක්ලින්ටන් ස්ථීර වශයෙන්ම මැතිවරණ මණ්ඩල ඡන්ද 256ක් ලැබීමට තිබූ බවත් අවසාන වශයෙන් ඇය ගන්නා ඡන්ද ප්‍රමාණය 302ක් වන්නට ඉඩ තිබූ බවත් ඩොනල්ඞ් ට්‍රම්ප් හිමිවීමට ඉඩ තිබුණේ ඡන්ද 236ක් යැයි ද වාර්තා විය. එහෙත් ඊට පෙර සතියේදී හිලරි ක්ලින්ටන් ස්ථීර වශයෙන් ඡන්ද 278ක් හා අවසාන වශයෙන් ඡන්ද 320ක් ද ඩොනල්ඞ් ට්‍රම්ප් ඡන්ද 218ක් ද දිනාගැනීමට ඉඩ තිබූ බව විදෙස් මාධ්‍ය සමීක්ෂණ වාර්තා උපුටා දක්වමින් වාර්තා කර තිබුණි.
කෙසේ වෙතත් පසුගිය සතිය පුරාවට ට්‍රම්ප් වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර  ප්‍රාන්ත 24ක වර්ධනයක් පෙන්නුම් කර ඇති ප්‍රාන්ත 11ක් පරාජය වන බව පෙන්නුම් කර ඇත.

RECOMMEND POSTS