ට්‍රම්ප් හිලරි දෙවැනි විවාදයත් ගාලගෝට්ටි මැද උණුසුම් වෙයි



 

 

 

 (රොයිටර්)

ඇමෙරිකා ජනාධිපතිවරණයට පෙර, ජනපති ධුර අපේක්ෂකයන් දෙදෙනා වන ඩොනල්ඞ් ට්‍රම්ප් සහ හිලරි ක්ලින්ටන් අතර දෙවැනි විවාදය ඊයේ (9) මිසෝරි ජනපදයේ ශාන්ත ලුවිස් නුවර වොෂින්ටන් විශ්ව විද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ජනාධිපතිවරණයට පෙර ඇමෙරිකාවේ ප්‍රධාන පක්ෂ දෙක වන ඩිමොක්‍රටික් පක්ෂයේත් රිපබ්ලිකන් පක්ෂයේත් අපේක්ෂකයන් දෙදෙනා අතර විවාද තුනක් පැවැත්වෙයි. බොහෝ ඇමෙරිකානුවන් තමන් ඡන්දය දෙන්නේ කාටදැයි තීරණයක් ගන්නේ මෙම විවාද තුනෙන් පසුවය. තෙවැනි සහ අවසන් විවාදය පැවැත් වෙන්නේ ලබන 19 වැනිදාය.

පළමු විවාදයෙන් මෙන්ම මෙම දෙවැනි විවාදයෙන් ද ජය ගැනීමට හිලරි ක්ලින්ටන් සමත් වූ බව ඇමෙරිකන් පුවත් සේවා පසුව වාර්තා කළේය. විවාදයෙන් පසුව පැවැති සමීක්ෂණවලින් හෙළි වූයේ හිලරි ක්ලින්ටන්ට සියයට 57 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිවුණු බවය. ට්‍රම්ප්ට හිමි වී ඇත්තේ සියයට 34 ක් පමණි.

දෙවැනි විවාදයේ පළමු අදියරේදී ට්‍රම්ප් සහ හිලරි දෙදෙනා එකිනෙකාට මඩ ගසා ගනිමින්, චෝදනා එල්ල කර ගත්හ. විවාදයේ දෙවැනි අදියරේදී අපේක්ෂකයෝ දෙදෙනා ඔවුන්ගේ දෙස් විදෙස් ප්‍රතිපත්ති පැහැදිලි කළහ.

විවාදයට ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂවල තෝරා ගත් නියෝජිතයෝ පිරිසක් නරඹන්නන් ලෙස පැමිණ සිටියාහ. අපේකෂකයන් දෙදෙනාට ප්‍රශ්න ඉදිරිපත් කළෝ ඔවුහුය. එම ප්‍රශ්නවලට පිළිතුරු සැපැයීමට විනාඩි කිහිපය බැගින් අපේක්ෂකයන්ට ඉඩ ලැබුණි.

නියමිත එම කාලය අවසන් වූ පසු තත්පරයක් දෙකක් හිලරි කතා කළ එක් අවස්ථාවදී විවාදය මෙහෙයවූ මාධ්‍යවේදීන් දෙදෙනා වූ සී.එන්.එන්. ප්‍රවෘත්ති නාළිකාවේ මාධ්‍යවේදී ඇන්ඩර්සක් කූපර් සහ ඒ.බී.සී නාළිකාවේ මාර්තා රැඩාඞ්ට, ඩොනල්ඞ් ට්‍රම්ප් මෙසේ දොස් කීවේය. ‘ඔයාලා හිලරිට නම් වැඩිපුර කාලය දෙනවා. මම තප්පරයක් දෙකක් වැඩි පුර කාලය ගත්තොත් මට බාධා කරනවා’ යැයි ට්‍රම්ප් කියා සිටියේය.

ට්‍රම්ප් කාන්තාවන්ට ලොල් චරිතයක් ඇත්තකු බවටත්, අපහාසාත්මක කතා කියමින් කාන්තාවන් හෑල්ලුවට ලක් කරන අයකු බවටත් මේ වනවිට චෝදනා එල්ල වී ඇත. එසේ චෝදනා එල්ල වූයේ 2005 වසරේ දී ට්‍රම්ප් සම්බන්ධ වීඩියෝ දසුන් පෙළක් ද මේ වනවිට ප්‍රසිද්ධියට පත්ව ඇති නිසාය. එම වීඩියෝ දසුන් ප්‍රසිද්ධියට පත් වීමෙන් පසු ට්‍රම්ප්ට සහාය දීම ප්‍රතික්ෂේප කිරීමට රිපබ්ලිකන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් රැසක් තීරණය කළ බව ද වාර්තා විය.

2005 වසරේ එම සිදුවීම සම්බන්ධයෙන් ට්‍රම්ප් ප්‍රසිද්ධියේ සමාව ගෙන ඇති අතර එදා තමන්ගේ හැසිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බව ද පවසා ඇත. ට්‍රම්ප් දැන් තරයේ කියා සිටින්නේ තමා තරම් කාන්තාවන්ට ගරු කරන වෙනත් අයකු නැති බවය. ට්‍රම්ප්ගේ බිරිඳ මෙන්ම හිටපු වෘත්තීය නිරූපිකාවක ද වන මෙලනියා ද පවසා ඇත්තේ තම සැමියා අතීතයේ කළ එම ප්‍රකාශය සම්බන්ධයෙන් සැබැවින්ම කනගාටුවට සහ ලැජ්ජාවට පත් වී සිටින බවය. 

ට්‍රම්ප් විවාදයට පැමිණ සිටියේ ඔහුගේ බිරිය, දියණියන් සමඟ පමණක් නොව, හිලරිගේ සැමියා බිල් ක්ලින්ටන් ජනපති ධුරයේ සිටිද්දී, ඔහු අතින් ‘ලිංගික හිංසනයට’ ලක් වූයේ යැයි පැවැසෙන කාන්තාවන් සිවු දෙනකු ද පිරිවරාගෙනය. 

ඔවුන් සිවුදෙනා කැත්ලීන් විලෙනි, ජුවනිටා බෝඩෙරික්, කැතී ෂෙල්ටන් සහ පෝලා ජෝන්ස්ය. විවාදයට පෙර මෙම කාන්තාවන් සිවු දෙනා සමඟ වසර 11 කට පමණ පෙර, ඔවුන්ට සිදුවුණු ‘ලිංගික හිංසනයන්’ සම්බන්ධයෙන් විශේෂ මාද්‍ය හමුවක් පැවැත්වීමට ද ට්‍රම්ප් කටයුතු කළේය. මෙම සිවුදෙනාට හිලරි ක්ලින්ටන්, බිල් ක්ලින්ටන්ගේ බිරිය ලෙස තර්ජන කර ඇතැයි ද පැවැසෙයි.

ට්‍රම්ප්ට බදු වංචා කිරීම් සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් වාද විවාද හටගත්තේය. විදෙස් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කරද්දී සිරියානු අර්බුදය ගැන අපේක්ෂකයන් දෙදෙනා අතරේ වාද විවාද හටගත්තේය. ට්‍රම්ප් කියා සිටියේ සිරියානු අර්බුදය විසඳීමට නම් පළමුවෙන් අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් මුලිනුපුටා දැමිය යුතු බවය. 

අයි.එස්.අයි.එස්. ලොවට තර්ජනයක් වූයේ ඔබාමා පරිපාලනය යටතේ බවත්, ඔබාමාගේ පළමු ධුර කාලයේ රාජ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කළ හිලරි ක්ලින්ටන් ඊට වගකිව යුතු බවටත් ට්‍රම්ප් චෝදනා කළේය. ගඩාෆිගේ මරණයෙන් පසු හිලරි ක්ලින්ටන් ගත් තීරණ හේතුවෙන් ලිබියාවේ ඇමෙරිකා තානාපති ස්ටීවන්ස්ට කැරැලිකරුවන් අතින් මැරෙන්න සිදුවුණැයි ද ට්‍රම්ප් චෝදනා නැගුවේය.

රුසියාව සහ ඉරානය, සිරියානු රජය සමඟ එක් වී අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ට හරෙහිව සටන් කරන බවත් තමා ජනපති වුවහොත් ඊට සහාය දක්වන බවත් ට්‍රම්ප් පැවැසීය. හිලරි මීට විරෝධය පළ කළ අතර ඇය කියා සිටියේ සිරියාවේ කුර්දි සටන්කාමීන් ආයුධ දී ශක්තිමක් කළ යුතුයි කියාය. අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් වදින්නෝ මම කුර්දි සටන්කාමීහුය.

විවාදය අවසානයේ දී නරඹන්නෙක් ප්‍රතිවාදීන් ලෙස දෙදෙනා එකිනෙකාගේ අගය කරන ගුණාංග මොනවාදැයි විමසුවේය.  ඊට පිළිතුරු දෙමින් හිලරි මෙසේ පැවැසුවාය. ‘මම මෙතුමාගේ දරුවන්ට ගරු කරනවා. මෙතුමාගේ දරුවෝ දක්ෂයෝ. ඔවුන්ගේ කැපැවීම මා අගය කරනවා. එම කැපවීම ඔවුන්ට ලැබුණේ ට්‍රම්ප්ගෙන්. මා ට්‍රම්ප් කියන හා කරන කිසිම දේකට එකඟ වෙන්නේ නැහැ. එහෙත් ඔහු ඔහුගේ දරුවන් වෙනුවෙන් කළ කැපකිරීම්, දරුවන් හොඳ පුරවැසියන් බවට පත් කිරීමට ගත් උත්සාහය මා අගය කරනවා. ඊට ගරු කරනවා. මම මිත්තණියක්. ඒ නිසා දරුවෝ ගැන මා හොඳින් දන්නවා.’

හිලරි ක්ලින්ටන් ගැන අදහස් දක්වමින් ට්‍රම්ප් කියා සිටියේ, තමන්ට හිලරිගේ ප්‍රතිපත්ති ගැන පැහැදීමක් නැතත්, ඇගේ ක්‍රියාකලාප තමන් අනුමත නොකළත් තමන් ඇයට ගරු කරන්නේ ඇය ලේසියෙන් උත්සාහය අත් නොහරින, ධෛර්යවත් තැනැත්තියක නිසා බවය. විවාදය අවසන් වූයේ දෙදෙනා අතට අත දී එකිනෙකාට සුබ පැතීමෙනි.


RECOMMEND POSTS