ට්‍රම්ප් ජනපති වුණොත් ලෝකයට තර්ජනයක් - ජගත් මානව හිමිකම් කොමසාරිස්



 (රොයිටර්)

රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමෙරිකාවේ මීළඟ ජනපති වුවහොත් එය මුළු ලොවටම ලොකු තර්ජනයක් වේයැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු පවසයි.

මහ කොමසාරිස්වරයා මේ බව කියා සිටියේ ජිනීවා නුවරදී පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකදීය. හුසේන් කුමරු රිපබ්ලිකන් අපේක්ෂක ට්‍රම්ප් විවේචනය කළේ ඔහුගේ විදෙස් ප්‍රතිපත්ති මුල්කොට ගනිමිනි.

‘ට්‍රම්ප් සුළු ජාතිකයන්ට එරෙහිව දළදඬු තීරණ ගන්න සූදානම් වෙනවා. ඔහු අන්තර් ජාතික නීතියට පටහැණි අයුරින් පුද්ගලයන් වධබන්ධනවලට ලක් කිරීමට සූදානම් වෙනවා. මේ දේවල් කිසිසේත්ම අනුමත කරන්න බැහැ.’ යැයි එම මාධ්‍ය හමුවේදී හුසේන් කුමරු පෙන්වා දුන්නේය.

යම්හෙයකින් ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනපති ධුරයට පත් වුවහොත්, ඔහු ඔහුගේ මෙම ප්‍රතිපත්ති වෙනස් කර නොගත්තොත්, ජාත්‍යන්තර ප්‍රජාවට ඔහු තර්ජනයක් වෙනවා නිසැකයි. ‘ට්‍රම්ප් උත්සහ ගන්නේ ඔහු දැඩි තීන්දු තීරණ ගන්නා දළදඬු නායකයෙකු බව පෙන්වන්නයි. ඔහු ජගත් ත්‍රස්තවාදයට එරෙහිව දැඩි තීරණ ගන්නා කෙනකු බව පවසනවා. ඔහු ඔහුගේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට කන් දෙන්නේ නැහැ. පසුගිය දා ඔහු ඇමෙරිකන් කතා නායක පෝල් රයන් සමඟක් විවාදයකට පැටැලුණා. රිපබ්ලිකන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් බොහෝ දෙනකු ට්‍රම්ප්ගේ ක්‍රියා කලාපය අනුමත කරන්නේ නැහැ.’ යැයි ද හුසේන් කුමරු වැඩි දුරටත් කියා සිටියේය.

70 හැවිරිදි ට්‍රම්ප් ව්‍යාපාරිකයෙකි. ආර්ථික කටයුතු ගැන දැනුමක් තිබුණ ද ට්‍රම්ප්ගේ දෙස් විදෙස් ප්‍රතිපත්ති ගැන කිසිසේත් පැහැදීමකට පත් විය නොහැකි යැයි පසුගිය දා පැවැති ඩෙමොක්‍රටික් පක්ෂ රැලියකදී ඔබාමා පැවැසීය. 

ඔබාමා මේ වනවිට සිය ඡන්දය ප්‍රකාශ කර ඇත. ඔබාමාගේ සහාය දිගටම ලැබෙන්නේ ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ටය. එම රැලියේදී ඔබාමා, ට්‍රම්ප් විවේචනය කරද්දී, එම රැලියට අනවසරයෙන් ඇතුළු වුණු රිපබ්ලිකන් පාක්ෂිකයන් කිහිප දෙනකුගෙන් බාධා කිරීම් ද එල්ල විය. ආරක්ෂක අංශ මැදිහක් වී එම පිරිස විසුරුවා හැරියේය.


RECOMMEND POSTS