ඇමෙරිකා ජනාධිපතිවරණය 2016 - ට්‍රම්ප්ට වඩා හිලරි ඉදිරියෙන්. සමීක්ෂණයක් කියයි



ඇමෙරිකා ජනපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන, ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් මේ වනවිට රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප්ට වඩා ඉදිරියෙන් සිටින බව නවමත ජනමත සමීක්ෂණයකින් තහවුරු වී ඇත.

මෙම ජනපත සමීක්ෂණය සිදු කර ඇත්තේ ෆෙයාර්ලි ඩිකින්සන් විශ්ව විද්‍යාලය මගිනි. ඔවුන් ඒ ගැන විස්තර ඊයේ (6) ඇමෙරිකන් මාධ්‍ය ඔස්සේ හෙළි කළේය. ඒ අනුව, හිලරි ක්ලින්ටන්ට සියයට 50 ක ජනතා කැමැත්තක් හිමි වී ඇති අතර, ට්‍රම්ප්ට හිමි වී ඇත්තේ සියයට 40 ක් පමණි.

ඇමෙරිකා ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන නොවැම්බර් අට වැනිදාය. ජනපතිවරණය නිමිත්තෙන් පසුගිය දා හිලරි ක්ලින්ටන් සහ ඩොනල්ඞ් ට්‍රම්ප් පළමු රූපවාහිනී විවාදයට සහභාගී වූහ. එම විවාදය අවසන් වූයේ හිලරිට වාසි වන අයුරිනි. 

ජනපතිවරණයට පෙර තවත් මෙවැනි විවාද දෙකක් පැවැත්වෙයි. තමන් ඡන්දය දිය යුත්තේ කාටදැයි ඇමෙරිකන් වැසියන් තීරණය කරන්නේ එම විවාදවලින් පසුවය.

රූපවාහිනී විවාදයෙන් පසු, ඇමෙරිකා විශ්ව විද්‍යාල, අධ්‍යාපන ආයතන පමණක් නොව මාධ්‍ය සංවිධාන විවිධ සමීක්ෂණ පවත්වා ඇති අතර, ඒ සෑම සමීක්ෂණයකින්ම ඉදිරියට පැමිණීමට හැකි වූයේ හිලරි ක්ලින්ටන් යැයි පැවැසෙයි.


RECOMMEND POSTS