විෂබීජහරණ කුටි ප්‍රායෝගික නෑ. අතුරු ආබාධවලට හේතුවක්



කොරෝනා වයිරසය මර්ධනය කිරීම සඳහා පොදු ස්ථානයන්හි විෂබීජහරණ කුටි පවත්වාගෙන යාම ප්‍රායෝගිකව සාර්ථක ක්‍රියාවක් නොවන බවත් එමගින් විෂබීජහරණයට යොමුවන පුද්ගලයන් අනතුරුදායක තත්ත්වයකට පත්වන බවත් ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීව විද්‍යා විද්‍යාලය දැනුම්දෙයි.  

සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු රෝහල්වලත් විශාල පිරිසක් සිටින රැකියා ස්ථාවල මෙන්ම පොදු ස්ථානවලත් විෂබීජහරණ කුටි සවිකිරීම සිදුකරමින් පවතී. මේ කුටි බොහොමයක් පරිත්‍යාග ලෙස ලැබෙන ඒවා බව ද පෙනෙන්නට තිබේ.

යම් ස්ථානයකට ඇතුළුවන හා පිටවන තැන්වලව මේ කුටි සවිකරන අතර සෑම පුද්ගලයකුට ම ඒ හරහා ගමන් කිරීමට උපදෙස් දෙන ආකාරය ද දක්නට ලැබෙයි. මේ කුටි ඇල්කොහොල්, ක්ලෝරීන් සංයෝග, ඕසෝනීකෘත ජලය, සබන් මිශ්‍රිත ජලය සහ පාරජම්බූල කිරණ ඇතුළු විවිධ මාදිලි භාවිතයෙන් මෙම කුටි ක්‍රියාත්මක කරයි..

මෙලෙස විෂබීජහරණ ක්‍රියාව සම්බන්ධයෙන් ‍‍ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය පිළිබඳ ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීව විද්‍යා විද්‍යාලය විසින් අවධානය යොමු කර තිබේ.

ලෝක සෞඛය සංවිධානය ඒ පිළිබඳ පවසන්නේ මෙවැනි කරුණකි.

'' පුද්ගලයන් හෝ කණ්ඩායම් වෙත විෂබීජ නාශක ඉසීම කිසිදු තත්ත්වයක් යටතේ නිර්දේශ නොකරන බව අපි තරයේ අවධාරණය කරන්නෙමු. රසායනික විෂබීජ නාශක හෝ ඩිටර්ජන්ට් සහිත ද්‍රව්‍ය පුද්ගලයකු හෝ කණ්ඩායමක් වෙත ඉසීම ශාරීරිකව හා මානසිකව හානිදායක වන අතර කොවිඩ් - 19 පැතිරීම සීමා කරන්නට මෙවැනි ක්‍රියාවන් හේතුවක් නොවේ. වයිරසය ආසාදනය වූ අයකුගේ වුව ද ශරීරයේ බාහිරයට මෙලෙස විෂබීජ ඉසීමෙන් සිරුර තුළ ඇති වයිරසය විනාශ නොවන අතර පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වය වඩාත් නරක අතට හැරීමේ අවදානමක් තිබේ."

ක්ෂුද්‍ර ජීව විද්‍යාඥයන් පවසන්නේ මත්පැන් හෝ වෙනත් විෂබීජ නාශක කොරෝනා වයිරසය මර්ධනය සඳහා ඵලදායී ලෙස යොදා ගැනීමටනම් පුද්ගලයන් යම් කාලයක් මෙවැනි විෂබීජනාශක සමග සිටිය යුතු බවයි. නමුත් විෂබීජනාශක කුටිවල ස්වභාවය එලෙස සිටීම සඳහා සුදුසු නොවන බව ද ඔවුන්ගේ මතයයි.

මෙයින් සිදුවන්නේ වටිනා විෂබීජනාශක නිකරුණේ විනාශවීම සහ ගිනි ගැනීම් වැනි අවදානම්ද ඇතිවීමයි.

කොරෝනා වයිසරය සම්ප්‍රේෂණය වන ප්‍රධානතම ක්‍රමය ලෙස හඳුනාගෙන ඇත්තේ අපිරිසිදු දෑත් මගින් ඇස්, නාසය හා මුඛය ස්පර්ශ කිරීමයි. එබැවින් මෙම වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා මුළු සිරුරටම විෂබීජනාශක ඉසීමෙන් වැළකී අත් පිරිසිදුව තබාගැනීම උත්සාහ ගැනීම වඩාත් සුදුසු බව ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීව විද්‍යා විද්‍යාලය පෙන්වා දෙයි.

එම ආයතනය පවසන්නේ විෂබීජනාශක කුටිවල ඇති මධ්‍යසාර සහ අනෙකුත් රසායනික විෂබීජනාශකවල ක්‍රියාකාරීත්වයෙන් කොරෝනා පැතිරීම වැළැක්වීමේ අරමුණ ඉටුකරගත නොහැකි බවයි. එමෙන්ම මෙම රසායනික විෂබීජනාශක මිනිස් සිරුරට විවිධ අහිතකර බලපෑම් ඇතිකරන බවත් විශේෂයෙන් ම ‍ක්ලෝරීන් ඉසීමෙන් ඇස්වල ආබාධ ඇතිවීමට හා සමේ ආසාත්මිකතා ඇතිවීමට ඉඩ තිබෙන බවටත් අනතුරු අඟවා ඇත.

මෙවැනි රසායනික ආශ්වාස කිරීමෙන් වමනය හා ඔක්කාරය ඇතිවනබව ද වෛද්‍ය මතයයි. ඒවා පෙනහළුවලට ද හානිකළ හැකිය. ඇදුම වැනි නිදන්ගත ශ්වසන රෝග ඇති අයට එවැනි රෝග උත්සන්න වීමේ දැඩි අවදානමක් මේ නිසා හටගනී. එමෙන්ම පිළිකා කාරක ලෙස ද මෙම රසායනිකයන් ක්‍රියාකිරීමට ඉඩ තිබේ. මෙවැනි රෝගවලට එරෙහිව සටන් කිරීමට සිරුරට ඇති හැකියාව විෂබීජනාශක රසායනික විසින් නැතිකර දමනු ලබයි.

පාරජම්බූල කිරණවලට අධික ලෙස නිරාවරණනය වීමෙන් ඇතැම් පුද්ගලයන්‍ගේ ඇස්වල තුවාල සිදුවීම, සම පිළිස්සීම හෝ සමේ පිළිකා ඇතිවීම සිදුවන බව ද පැවසේ. කෙ‍සේ වෙතත් මේ දක්වා අජීවී වස්තූන් පිරිසිදු කිරීමට, විෂබීජහරණය කිරීමට පවා පාරජම්බූල කිරණ භාවිතා කිරීමට අවසර ලබා දී නැත.

විෂබීජනාශක නගර, වීදි සහ පොදු ස්ථාන වැනි විශාල එළිමහන් ස්ථාවලත් ගොඩනැගිලිවලටත් ඉසීම කෙරෙහි ද ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීවිද්‍යා විද්‍යාලයේ අවධානය යොමුව තිබේ.

එම ආයතනය පවසන්නේ විෂබීජනාශක ඉසීම හෝ යෙදීම කළ යුත්තේ මහජනයාට නිතර ස්පර්ශවන පෘෂ්ඨවල වන, දොර අඟුලු, පඩිපෙල් අත්වාරු, විදුලි සෝපාන, බස්රථ, දුම්රිය, පුටු මේස යනාදියේ බවයි. මෙවැනි පෘෂ්ඨයන්හි වයිරසය පවතින බව තහවුරු වී තිබේ. කෙසේ වෙතත් විෂබීජනාශක විශාල වශනේ පරිසරයට යෙදීමෙන් පරිසරික දූෂණය, රසායනික ද්‍රව්‍ය නිකරුණේ නාස්තිවීම මෙන්ම විෂබීජහරණ කුටිවල දී මිනිසාට අහිතකර ලෙස බලපාන අයුරින් ම බලපෑම් සිදුවීම වැළැක්විය නොහැකි බව ද ඔවුන් පෙන්වාදෙයි. එමෙන්ම මෙය මිනිසාට පමණක් නොව සතුන්ට ද අහිතකර ලෙස බලපාන බව ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීව විද්‍යා විද්‍යාලය පවසයි.

'' මෙම විෂබීජනාශකවල ක්‍රියාකාරීත්වය තවමත් තක්සේරු කර නැහැ. සූර්යාලෝකය වැනි විවිධ පාරිසරික තත්ත්වයන්ට නිරාවරණය වීමෙන් වයිරසය විනාශ වීම හෝ පිරිහීමට ලක්වන බවට මතයක් තිබෙනවා. එබැවින් විෂබීජනාශක විශාල ප්‍රමාණයක් වීදිවල සහ පොදු ස්ථානවල ඉසීමට වඩා නිතර නිතර ස්පර්ශවන ස්ථාන පිරිසිදුව තබා ගැනීම සඳහා විෂබීජනාශක යොදා පිස දැමීම වැදගත් වනවා." ඔවුන් පවසයි.

ඔවුන් පෙන්වාදෙන්නේ ඕනෑම රාජ්‍ය හෝ පුද්ගලික ආයතනයක් වෙත පිවිසීමේ දී සහ පොදු ප්‍රවාහන පහසුකම් භාවිතා කිරීමේ දී ඒවාට ඇතුළුවන අවස්ථාවේදී මෙන්ම පිටවන අවස්ථාවේ දී ද සෞඛ්‍ය ආරක්ෂිත පහසුකම් භාවිත වැඩිදියුණු කිරීම විෂබීජ හරණ කුටි සාදා ඒ තුළින් ගමන් කිරීම අනිවාර්ය කිරීමට වඩා ඵලදායී වන බවයි.

සෑම අවස්ථාවක දී ම අත් සෝදා පිරිසිදු කරගැනීම, එලෙස නොහැකි අවස්ථාවක දී ඇල්කොහොල් සහිත විෂබීජ නාශක දියරයකින් අත් සේදීම, කැස්ස සහ කිවිසුම් යාමේ දී ආරක්ෂිත ක්‍රමෝපායයන් භාවිතා කිරීම, සුදුසු මුඛ ආවරණයක් නිසි පරිදි භාවිතා කිරීම, සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාම මෙහි දී වඩාත් සුදුසු බව ඔවුන් පවසයි. ඇඳිරිනීතිය ඉවත්කිරීමෙන් පසුව පවා මේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාදාමයන් දිගටම පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ඔවුන් අවධාරණය කරයි.

එමෙන් ම ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීව විද්‍යා විද්‍යාලය පවසන්නේ විෂබීජහරණ කුටි පවත්වාගෙන යාමෙන් ජනතාව තුළ කොරෝනා වයිරසයෙන් තමන් ආරක්ෂා වී ඇතැයි යන ව්‍යාජ හැඟීමක් ඇතිවන බවයි. මෙය ඉතා හානිකර තත්ත්වයක් බව ද ඔවුහු පෙන්වාදෙති.

එමෙන් ම විෂබීජහරණ කුටි භාවිතා කිරීමේ දී ඇතිවිය හැකි අතුරු ආබාධ කෙරෙහි සියලු පාර්හවයන්ගේ අවධානය යොමු කිරීම තම යුතුකම සහ වගකීම බව විශ්වාස කරන බැවින් මෙම නිවේදනය නිකුත් කරන බව ද ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීව විද්‍යා විද්‍යාලය පවසයි.


RECOMMEND POSTS