පාසල් ආරම්භ කිරීමට මාර්ගෝපදේශ



පාසල් ආරම්භ කිරීමට සුදුසු වාතාවරණයක් ඇත්දැයි සොයා බැලීමෙන් පසු ඒ පිළිබඳ අවසන් තීරණය ගත යුතු බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි. හෙතෙම මේ බව ‍අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ද දැනුම් දී ඇත.

මැයි මස 11 වැනි දින සිට රටේ සාමාන්‍ය ජන ජීවිතය ආරම්භ කිරීමට අදාළව අවශ්‍ය මාර්ගෝපදේශ ඒ ඒ ආයතන සහ පුද්ගලයන් වෙත නිකුත් කිරීමේ සෞඛ්‍ය අමාත්‍යාංශ වැඩපිළිවෙලට අනුව මේ බව දැනුම් දී ඇත.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ද අදාල මාර්ගෝපදේශ ඉදිරිපත් කර තිබේ. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරන්නේ පාසල් විවෘත කිරීමට පෙර වසංගතයේ ව්‍යාප්තිය සිදුවන ආකාරය සහ පාසල් තුළ අත්‍යාවශ්‍ය සනීපාරක්ෂක කටයුතු පවත්වාගෙන යා හැකි ද පිළිබඳ ප්‍රමාණවත් අධ්‍යයනයක් කර ඒ පිළිබඳ සෑහීමකට පත්විය යුතු බවයි.

ඒ අනුව ඉදිරි සති කිහිපයේ දී පාසල් පරිශ්‍රයන්හි කොරෝනා වයිරසයෙන් ආරක්ෂාවීමට අවශ්‍ය සියලු සනීපාරක්ෂක පහසුකම් හා ඊට අවශ්‍ය යටිතල පහසුකම් පුළුල් කිරීමට රජයේ සහ පුද්ගලික පාසල් බලධාරීන් ලෙස උපදෙස් ලබා දෙන ලෙස ද ජාසිංහ මහතා පවසයි.

ජාතික මට්ටමින් ගෙන ඇති නිර්දේශ අනුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු, පළාත් අධයාපන අධ්‍යක්ෂවරු, ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරු සහ දිසාපතිවරුන්ගෙන් සමන්විත කමිටුවක් මගින් ඒ ඒ පළාත් මට්ටමින් පාසල් යළි විවෘත කිරීම පිළිබඳ අවසන් තීරණය ගත යුතු බව ද ඔහු පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා පවසන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ පළාත් බලධාරීන් වෙත යොමු කර ඇති බවයි.


RECOMMEND POSTS