ගින්නකින් ගාල්ලේ කඩ රැසකට හානි



ගාල්ල නගර මධ්‍යයේ කැකිරිබොක්කේ පිහිටි කඩ පේළියක සඳුදා (04) රාත්‍රී 7.30ට පමණ ඇතිවූ ගින්නට හේතුව විදුලි කාන්දුවක් නොවන බව තහවුරු වී ඇත.

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් එහි පැමිණ පරීක්ෂා කිරීමෙන් පසු මේ බව දන්වා තිබේ. ගින්නෙන් වෙළෙඳ සැල් පහකට දැඩි ලෙස හානිවී තිබිණි.   

2004 දෙසැම්බර් ඇතිවූ සුනාමිය හේතුවෙන් ව්‍යාපාර අහිමිවූ ගාල්ල මහජන පොළේ වෙළෙඳාමේ නිරතව සිටි ව්‍යාපාරිකයන් සඳහා කැකිරිබොක්කේ තාවකාලික කඩ කාමර ඉදිකරන ලද අතර මෙතෙක් ඔවුන්ට ස්ථිර කඩ කාමර ලබා දී නැත. එදා සිට අද දක්වාම එම ව්‍යාපාරිකයෝ වසරක කාලයක් සඳහා ඉදිකරන ලද තාවකාලික කඩ කාමරවල සිය ව්‍යාපාපර පවත්වාගෙන යති.

ගින්න ඇතිවූ විට ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන රථ පැමිණ ගින්න නිවා දමා ඇති අතර පොලිසිය සහ ප්‍රදෙශවාසීන්ද ඊට සහය දී තිබේ. ගින්නෙන් ලෙදර් සහ රෙක්සින් සහිත කඩයකට දැඩි අලාභහානි සිදුව ඇති අතර, ඔරලෝසු අලුත්වැඩියා කරන කඩයක්, බාබර් සාප්පුවක් ඇතුළු තවත් කඩ කිහියකට අලාභ සිදුව තිබිණි.

ගින්න හටගන්නා අවස්ථාවේ කඩ කාමර වසා තිබූ බැවින් එහි පැතිරීම වැළැක්වීමට කඩ කාමරවල දොරවල් කඩා දැමීමට ද සිදුව තිබිණි.

දේපලවලට පමණක් අලාභහානි සිදුව ඇති අතර ලෙදර් සහ රෙක්සින් අළෙවි සැළේ පමණක් රුපියල් කෝටි දෙකක් පමණ වටිනා අමද්‍රව්‍ය තිබූ බව එහි හිමිකරුවා පොලිසියට පවසා තිබේ

මීට සතියකට පමණ පෙර රෙක්සින් අළෙවි සැළ කඩා භාණ්ඩ පැහැර ගැනීමට කිසියම් කණ්ඩායමක් උත්සාහ ගත් බව වාර්තා වී තිබූ අතර ඊයේ (04) දිනයේ දී ද එවැනි උත්සාහයක් අතරතුර මෙම ගින්න හටගන්නට ඇතැයි ද පොලිසිය සැකකරයි.

සිද්ධිය පිළිබඳ ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


RECOMMEND POSTS