කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ එපා කියයි



කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධයක්ෂ සරත් වීරබණ්ඩාර මහතා ඉවත් කරන තුරු ඔහුගේ උපදෙස් පිළිනොපදින බවත් හෙට (05) සිට හදිසි සහ අත්‍යාවශ්‍ය සේවා හැර සියළුම ආකාරයේ සේවාවලින් ඉවත්වන බවත් කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානය අද මාද්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.

ඔවුන් පවසන්නේ මින් ඉදිරියට රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ උපදෙස් පමණක් පිළිපදිනන බවයි. කොරෝනා වසංගතය සම්බන්ධ කටයුතුවල දී අධ්‍යක්ෂවරයා උදාසීනව කටයුතු කිරීම, රෝහල් කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීමට අපොහොසත් වීම, කොරෝනා සැක සහිත රෝගීන්ට නිසි ආරක්ෂණ ක්‍රම‍වේදයක් නොමැතිව වාට්ටු සැකසීම රෝහලට ලබාගත හැකි ආධාර අහිමි කරගැනීම ආදී චෝදනා රැසක් රෝහල් අධ්‍යක්ෂවරයාට එරෙහිව එල්ල වී ඇති බව කුරුණෑගල රෝහල සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු වෛද්‍ය ඉන්දික රත්නායක මහතා පවසයි.

මෙම මාධ්‍ය සාකච්ඡාව රෝහල් පරිශ්‍රය තුළ පැවැත්වීමට අධ්‍යක්ෂවරයා අවසර ලබා නොදීම හේතුවෙන් රෝහලෙන් පිටත පිහිටි පොදු මාර්ගයක දී පැවැත්වීමට අද (04) කටයුතු යොදා තිබිණි.

මේ සම්බන්ධයෙන් විමසූ විට රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා කියා සිටියේ පවතින තත්ත්වය හමුවේ පිරිසක් ඒකරාශීවීම අවදානම් සහ තහනම් ක්‍රියාවක් බැවින්  රෝහල් පරිශ්‍රයේ මාධ්‍ය හමුව පැවැත්වීමට ඉඩ නොදුන් බවයි.

එමෙන්ම කොරෝනා වසංගතය පැතිරීම වැළැක්වීමට තමන් කුරුණෑගල ශික්ෂණ රෝහලතුළ ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද හෙතෙම පැවසීය.

රෝහල් අධ්‍යක්ෂවරයාට විරෝධ දැක්වීමේ හේතු පැහැදිලි කිරීමට පැවැත්වූ මාධ්‍ය හමුවට වෛද්‍ය, හෙද සංගම් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ වෘත්තීන් නියෝජනය කරන වෘත්තීය සමිති රැසක නියෝජිතයෝ පැමිණ සිටියහ.  


RECOMMEND POSTS