අර්බුදය විසඳන්න චීන ජනපතිට පුළුවන්
දිනෙන් දින ඔඩුදුවන හොංකොං අර්බුදයට මැදිහත් වී මානුෂීය අන්දමින්, සාමකාමීව එය විසඳීමට චීන ජනාධිපති ෂී ජින්පින්ට හැකි බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් හරහා පෙන්වා දී තිබේ.
හොංකොංහි විරෝධතා පැවැත්වෙන්නේ, හොංකොං පාලිකා කැරී ලෑම් ඇතුළු හොංකොං පාලක මණ්ඩලය චීනයේ බලපෑමට යටත් වී චීනයට අවශ්‍ය පරිදි නීතිරීති සකස් කරනවා යැයි චෝදනා කරමිණි.
දින ගණනාවක් තිස්සේ පැවැත්වෙන ප්රචණ්ඩ විරෝධතා හේතුවෙන් ලොව ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස ද සැලකෙන හොංකොං හි දෛනික කටයුතු පමේ වනවිට මුළුමනින්ම අඩපණ වී ඇත.
‘මම ජනාධිපති ෂී ජින්පින් බොහොම හොඳින් දන්නවා. ඔහු ශ්‍රේෂ්ඨ නායකයෙක්. ජනතාවට ගරු කරන ජනතාවට ආදරේ නායකයෙක්. හොඳ පුද්ගලයෙක්. ව්‍යාපාර ගනුදෙනුවලදී නම් අමාරුකාරයෙක්. මට හොඳටම විශ්වාසයි, චීන ජනාධිපති ජින්පින් මැදිහත් වුවහොත්, හොංකොං අර්බුදය කඩිනමින් මානුෂීයව මෙන්ම සාමකාමීව විසඳා ගන්න හැකිවේවි. ඔහුට එය පුළුවන්’ යැයි ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් නිකුත් කළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)