ගාසාව ගොඩනගන්න පස් අවුරුදු සැලැස්මක්



අරාබි රටවල රාජ්‍ය නායක සමුළුව ඊජිප්තුවේ කයිරෝ අගනුවර දී පැවැත්වුණු අතර, සමුළුව මෙහෙයවූ ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සීසී ඊශ්‍රායල ප්‍රහාරවලින් විනාශ වුණු පලස්තීනුවන්ට අයත් ගාසා තීරය යළි ගොඩනැගීමේ, ඇමරිකන් ඩොලර් බිලියන 53 ක පස් අවුරුදු සැලැස්මක් ඉදිරිපත් කළේය.

අරාබි රටවල රාජ්‍ය නායකයන් ඊජිප්තු ජනාධිපති ඉදිරිපත් කළ එම පස් අවුරුදු සැලැස්මට ඒකමතිකව කැමැත්ත පළ කළ බව ද විදෙස් මාධ්‍ය පවසයි. ඊශ්‍රායලයට පමණක් නොව, ගාසා තීරය ඊජිප්තුවට ද මායිම් ව පිහිටයි.

ගාසා තීරය ඇමෙරිකාවේ පාලනයට ගෙන, ගාසා පලපස්තීන වැසියන් බලහත්කාරයෙන් ඊජිප්තුවටත්, ජෝර්දානයටත් යවා ගාසා තීරය සංවර්ධනය කිරීමට තමන් බලාපොරොත්තු වන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර ඇත. ඊශ්‍රායලය ද මීට එකපයින් කැමැත්ත පළ කළ බව පැවැසෙයි.

කෙසේ නමුත්, මෙය අරාබි රටවල නායකයන්ගේ පමණක් නොව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාගේ ද දැඩි විරෝධයට හේතුවක් විය. කයිරෝ අගනුවර පැවැති අරාබි ලීග සමුළුවට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් ද සහභාගී විය.

සමුළුව අමතමින්, ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සීසී පැහැදිලි කර ඇත්තේ ගාසා තීරය යළි ගොඩනැගීමේ එම සැලැස්ම ට්‍රම්ප් රජයට යොමු කිරීමට ද බලාපොරොත්තු වන බවය. මේ වනවිට ඊශ්‍රායලයත්, පලස්තීන හමාස් සටනේකාමීන් අතරත් සටන් විරාමයක් පැවැත්වෙයි. එම සටන් විරාමය අතරතුරේ, ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් සහ ඊශ්‍රායල අත්අඩංගුවේ සිටින පලස්තීන සිරකරුවන් හුවමාරුව සිදුවෙයි.

 (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS