ට්‍රම්ප් යෝජනාවට විරෝධය
පලස්තීනුවන්ට අයත්, පලස්තීනුවන් වෙසෙන ගාසා තීරය ඇමෙරිකාවේ පාලනයට ගෙන, එය සංවර්ධනය කර ආපසු පලස්තීනුවන්ට පවරා දීමට, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කළ යෝජනාවට දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී.
ට්‍රම්ප් මෙම යෝජනාව ඉදිරිපත් කළේ, ධවල මන්දිරයට පැමිණි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුවය.
පලස්තීන වැසියන්, පලස්තීනයේ පාලනය මෙහෙය වන හමාස් සංවිධානය, බටහිර ඉවුරේ පලස්තීන පාලන අධිකාරිය, පලස්තීන පාලන අධිකාරියේ ජනාධිපති මහුමුද් අබ්බ්ස්, ට්‍රම්ප්ගේ යෝජනාවට දැඩි ලෙස විරෝධය පළ කරමින් පවසා ඇත්තේ, ට්‍රම්ප් පලස්තීනුවන් ජනසංහාරයකට ලක් කිරීමට සූදානම් වන බවය.හමාස් සංවිධානය තරයේ පවසා ඇත්තේ, පලස්තීන වැසියන්ට තර්ජනයක් වන ආකාරයට ට්‍රම්ප් ගාසා තීරය අත්පත් කර ගැනීමට යෝජනා කිරීම නීති විරෝධී බවත්, කිසිසේත් ඊට ඉඩ ලබා නොදෙන බවත්ය.
මේ වනවිට ඊශ්‍රායලයත් හමාස් සංවිධානයත් අතරේ සටන් විරාමයක් පවතී. එම සටන් විරාමය යටතේ හමාස් අත්අඩංගුයේ පසුවන ඊශ්‍රායල වැසියන් ද, ඊශ්‍රායල රජයේ අත්අඩංගුවේ පසුවන පලස්තීන සිරකරුවන් ද නිදහස් කිරීම අදියර කීපයකින් සිදුවෙයි. ඊශ්‍රායල හමාස් යුද ගැටුම් හේතුවෙන් 2023 ඔක්තෝර් මාසයේ සිට මේ දක්වා මියගිය ගණන 47,552 කි. තුවාල ලැබූවන් ගණන 111,629 කි.
ඇමෙරිකාවේ සමීපතම මිතුරකු වන සෞදි අරාබිය පමණක් නොව, සෙසු මැදපෙරදිග මුස්ලිම් රටවල් ද ට්‍රම්ප් ඉදිරිපත් කළ එම යෝජනාවට දැඩි ලෙස විරෝධය පළ කර ඇත.
ඇමෙරිකන් ජනාධිපතිවරයා උත්සාහ ගන්නේ පලස්තීනුවන්ගේ ජීවත් වීමට ඇති අයිතිය උදුරා ගැනීමට යැයි ට්‍රම්ප්ගේ එම යෝජනාව හෙළා දකිමින්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස් පවසා තිබේ.
මීට අමතරව, 2024 ජනාධිපතිවරණයේ දී ට්‍රම්ප්ට සහාය පළ කරමින් ඔහුට ඡන්දය දුන්, ඇමෙරිකාවේ මුස්ලිම් ප්‍රජාව ද ට්‍රම්ප්ගේ යෝජනාව සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කර ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
දිගින් දිගටම ට්‍රම්ප්ගේ යෝජනාවට විරෝධය එල්ල වෙද්දී, ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ, ට්‍රම්ප්ගේ යෝජනාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් හමුවේ පැහැදිලි කිරීමක් කර ඇත. ‘ට්‍රම්ප් ජනාධිපතිතුමාට අවශ්‍ය යුද ගැටුම් නිසා විනාශ වුණු ගාසා තීරය පලස්තීනුවන්ට ජීවත් වීමට සුදුසු තැනක් බවට පත් කිරීමයි. ඒ සඳහා තාවකාලිකව ගාසා වැසියන් ගාසා තීරයෙන් ඉවත් කිමරීටත්, ඔවුන් ඊජිප්තුවේ හෝ ජෝර්දානයේ හෝ පදිංචි කරවීමක් සිදු වෙනවා.” යැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ පැහැදිලි කර ඇත.
මීට අමතරව, ගාසා තීරය ඇමෙරිකාව අත්පත් කර ගන්නවා නම්, එසේ කරන්නේ ගාසා වැසියන්ට ජීවත් වීමට සුදුසු ස්ථානයක් බවට ගාසා තීරය පත් කිරීමට පමණයි යැයි ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකා කැරෝලීන් ලෙවිට් ද මාධ්‍ය හමුවක් පවත්වමින් පැහැදිලි කර ඇත.