ට්‍රම්ප් ගාසාව ඉල්ලයි
පලස්තීනුවන් වාසය කරන, හමාස් පාලනය යටතේ පවතින ගාසා තීරය, ඇමෙරිකාවට පවරාගෙන, පලස්තීන වැසියන්ට සාමකාමීව ජීවත් වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කරන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ගාසා තීරය ඇමෙරිකාවට පවරා ගැනීමෙන් පසු, පලස්තීනුවන්ට ජීවත් වීමට සුදුසු තැනක් ලෙස එය සංවර්ධනය කරමින් යටිතල පහසුකම් දියුණු කිරීම තම අරමුණ බව ජනාධිපති ට්‍රම්ප් පැහැදිලි කර තිබේ.
“ඇමෙරිකා රජය, ගාසා තීරයේ පාලනය භාර ගැනීමට පියවර ගන්නවා. ගාසා තීරයේ සිදුවුණු විනාශය අතිමහත්. අපි ගාසා තීරය කඩිනමින් සංවර්ධනය කරනවා. ඇමෙරිකාව මෙම කටයුත්තට මැදිහත් වෙන්නේ මැදපෙරදිග කලාපීය රාජ්‍ය නායකයන්ගේ ද සහයෝගය ඇතිවයි” යැයි ට්‍රම්ප් පැහැදිලි කර තිබේ.
“ගාසා තීරය මිහිපිට අපායක්. එහි වාසය කරන මිලියන 1.8 ක් වන ගාසා වැසියන්ට ජීවත් වීමට සුදුසු වාසස්ථාන ලබා දීමට අප පියවර ගන්නවා. මම ගාසා තීරයට ගොස් ඒ සියල්ල සොයා බලනවා” යැයි ද ට්‍රම්ප් මාධ්‍ය හමුවේ අවධාරණය කර ඇත.
මේ අතර, ගාසා තීරයේ පලස්තීනුවන් ජෝර්දානයේ හෝ ඊජිප්තුවේ පදිංචි කරවීමේ සැලැස්මක් ද ට්‍රම්ප් හඳුන්වා දී ඇත. ඊට පලස්තීන වැසියන්ගේ පමණක් නොව, අසල්වැසි අරාබි රටවලින් ද විරෝධයක් එල්ල වී තිබේ.
ට්‍රම්ප් මේ බව මාධ්‍ය හමුවේ අවධාරණය කළේ ධවල මන්දිරයේ දී ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ද හමුවීමෙන් අනතුරුවය.
ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු, ඔහු හමුවීමට පැමිණි පළමු රාජ්‍ය නායකයා නෙදන්යාහුය. පලස්තීන ගාසා තීරයේ ඊශ්‍රායල හමාස් අර්බුදය පමණක් නොව, බටහිර ඉවුරේ පලස්තීනුවන් සම්බන්ධයෙන් ඇති අර්බුදය ට්‍රම්ප් සහ නෙදන්යාහු අතරේ සාකච්ඡාවට බඳුන් විය. ඊශ්‍රායල රජය සහ හමාස් සංවිධානය අතරේ සටන් විරාමයක් පවතී. එම සටන් විරාමය සාර්ථක කර ගැනීම සිදුවූයේ තම මැදිහත් වීම නිසා යැයි ට්‍රම්ප් පවසා ඇත.
ඒ සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගය හිමිවිය යුතු නොවේදැයි ධවල මන්දිරයට පැමිණ සිටි එක් මාධ්‍යවේදියකු ට්‍රම්ප්ගෙන් විමසූ අවස්ථාවේ, ට්‍රම්ප් පිළිතුරු දුන්නේ ‘ඔව්, මට නොබෙල් සාම තෑග්ග හිමිවිය යුතුයි. ඒත් මම දන්නවා මට ඒක දෙන්නේ නැහැ‘ යනුවෙනි.