සඳට ගිය නිල් භූතයා



මේ භූතයකු ගැන කතාවකි. හැබැයි බය වෙන්න දෙයක් නැත. මේ භූතයා රොබෝ යානයකි. ඉංග්‍රීසියෙන් ‘බ්ලූ ගෝස්ට්’ නමැති මේ රොබෝ යානය චන්ද්‍ර ගවේෂණ යානයකි. පෘථිවියේ සිටින අපට ඉර පායනවා; ඉර බසිනවා දකින්න ලැබෙයි. ඉර බසිද්දී, අහසේ අපට දිස්වන්නේ චන්ද්‍රත්යා එසේත් නැතිනම් සඳය. ඉර මෙන්ම, සඳත් පායා බැස යන ආකාරය අපට දකින්න ලැබේ. ඒත්, සඳුගේ කක්ෂයට පිවිස පසුගිය මාර්තු 2 වැනිදා සඳට පතිත කළ ‘බ්ලූ ගෝස්ට්’ ගවේෂණය යානයට සුවිශේෂී දෙයක් දකින්නට ලැබුණි. ඒ, පෘථිවිය පායන සහ බැස යන ආකාරයයි.

‘බ්ලූ ගෝස්ට්’ (Blue Ghost) රොබෝ ගවේෂණ යානය, සඳ ගවේෂණය කිරීමේ අරමුණින්, පෘථිවියෙන් නික්ම ගියේ පසුගිය ජනවාරි 15 වැනිදාය. පෘථිවි කක්ෂයට ගොස්, සඳ බලා යන ගමනේ දී කෙමෙන් කෙමෙන් ඈත් වන පෘථිවියේ දසුන්, යානයේ කැමරාවල සටහන් විය. පසුව ඒවා අපට දැකගත හැකි විය. එම දසුන් සැබැවින්ම විස්මිතය. පෘථිවියෙන් නික්ම ගොස්, කිලෝ මීටර් 384,400 ක ගමනකින් පසු, ‘බ්ලූ ගෝස්ට්’ යානය, සඳ ආසන්නයට පැමිණ, පසුගිය පෙබරවාරි 13 වැනිදා සඳුගේ කක්ෂයකට පිවිසුණු ‘බ්ලූ ගෝස්ට්’, දින 16 ක් සඳ වටා කක්ෂගතව සිටියේය. එසේ සිටිද්දී, සඳුගේ වටකුරු පෘෂ්ඨය පිටුපසින්, පෘථිවිය නැගී එන අයුරුත් බැස යන අයුරුත් දැක්වෙන විස්මිත දසුන් පෘථිවියට එවීම සිදු කළේ පසුගිය පෙබරවාරි 18 වැනිදාය.

පසුගිය 18 වැනිදා, යානය එහි තෙරපුම් පද්ධතිය පණ ගන්වා, සඳුගේ පහළ කක්ෂයකට පිවිසිණි. ඒ සඳට ගොඩබෑමේ අරමුණින්ය. ආවාටවලින් සුසැදි සඳුගේ පෘෂ්ඨය පැහැදිලිව ‘බ්ලූ ගෝස්ට්’ යානයේ කැමරාවල සටහන් වුණු අතර, එම දසුන් ද පෘථිවියේ සිටින අපට දකින්න ලැබුණි. යානය සඳුගේ පහළ කක්ෂයට පිවිසෙද්දී එය, සඳුගේ කක්ෂයේ වට දෙකක් සම්පූර්ණ කර තිබුණි. මාර්තු දෙවැනි දා ශ්‍රී ලංකාවේ වේලාවෙන් දහවල් දොළහට පමණ‍ ‘බ්ලූ ගෝස්ට්’ සඳට ගොඩබෑවේය. එය සිතුවාටත් වඩා සාර්ථක විය.

‘බ්ලූ ගෝස්ට්’ ගවේෂණ යානය, ඇමෙරිකාවේ නාසා ආයතනය සමඟ සම්බන්ධය. එසේ වුවත්, එය ඇමෙරිකාවේ, ‘ෆයර්ෆ්ලයි ඒරෝස්පේස්’ සමාගම විසින් නිපදවන ලද්දකි. ‘බ්ලූ ගෝස්ට්’ මෙහෙයවන්නේ ‘ෆයර්ෆ්ලයි ඒරෝස්පේස්’ සමාගමය. මෙය පෞද්ගලික සමාගමකි. ඒ අනුව, පෞද්ගලික සමාගමක් සඳට යානයක් ගොඩ බෑ දෙවැනි අවස්ථාව ලෙස බ්ලූගෝස්ට් සැලකෙයි. නාසා ආයතනයට අයත් විද්‍යාත්මක උපකරණ, ඇතුළු තවත් උපාංග 10 ක් ‘බ්ලූ ගෝස්ට්’ යානයේ ඇත. සඳ මතුපිට ගවේෂණය සහ සිතියම්ගත කිරීමට අවශ්‍ය උපාංග ද ඒ අතර වෙයි. ‘බ්ලූ ගෝස්ට්’ යානය පෘථිවියට එවූ දසුන්, සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කිරීමට ‘බ්ලූ ගෝස්ට්’ ‘ෆයර්ෆ්ලයි ඒරෝස්පේස්’ සමාගම මෙන්ම නාසා ආයතනය ද කටයුතු කළ අතර, අභ්‍යවකාශය ගැන උනන්දුවක් දක්වන බොහෝ දෙනා අමන්දානන්දයට පත් කිරීමට එම වීඩියෝ දසුන් සමත් විය. ‘එක්ස්’ සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනකු මවිතය පළ කරමින් අදහස් පළ කර තිබුණි.

‘බ්ලූ ගෝස්ට්’ ගවේෂණ යානය, උඩු ගුවනට රැගෙන ගොස් සඳ බලා යෑමට අභ්‍යවකාශයට මුදා හරිනු ලැබුවේ, ‘ස්පේස් එක්ස්’ සමාගමට අයත් ‘ෆෝල්කන් 9’ රොකට්ටුවක ආධාරයෙනි. ‘ස්පේස් එක්ස්’ රොකට්ටුව ගුවන්ගත කෙරුණේ ෆ්ලොරීඩාවේ, නාසා ආයතනයට අයත් කෙනඩි මධ්‍යස්ථානයෙනි. ‘ස්පේස් එක්ස්’ ද පෞද්ගලික අභ්‍යවකාශ සමාගමක් වන අතර, එය අයිති ලොව අංක එකේ බිලියනපතියකු, ව්‍යාපාරිකයකු, නව නිපැයුම්කරුවකු ද වන ඉලොන් මස්ක්ටය. අද ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හොබවන්නේ, ඩොනල්ඩ් ට්‍රම්ප්ය. බිලියනපති ඉලොන් මස්ක් ට්‍රම්ප්ගේ ප්‍රධාන උපදේශකයෙක් ලෙස කටයුතු කරයි.

යානය සඳට ගොඩබෑම සිදු කිරීමට තත්ත්පර 16 ක් එහි ඇන්ජින් පණ ගැන්වීය. ඒ වනවිට යානය පිහිටියේ, සඳුගේ මතුපිට සිට කිලෝ මීටර් 100 ක් ඉහළිනි. යානය ගොඩබෑම කළේ පෙර සකස් කළ සැලැසුම්වලට අනුවය. යානය ගොඩබෑ ස්ථානයේ අතීතයේ යමහලක් (ගිනි කන්දක්) තිබුණු බව විද්‍යාඥයෝ පැහැදිලි කරති. විද්‍යාඥයන් මෙම යමහල නම් කර ඇත්තේ ‘ලැට්රි’ යනුවෙනි. සඳ යනු වායුගෝලයක් නැති නිසරු, පස් සහ දූවිලිවලින් පිරුණු පාෂාණමය ගෝලයකි. විද්‍යාඥයන් සඳුගේ භූමි ප්‍රදේශ නම් කර ඇත්තේ සාගර ලෙසිනි. එහෙත් ඒවා ඇත්තටම සාගර නොවෙයි. ආවාටවලින් පිරුණු භූමි ප්‍රදේශ වෙයි. අක්‍රිය වූ ‘ලැට්රි’ යමහල ඇත්තේ ‘මාරේ ක්‍රිසියම්’ එසේත් නැතිනම් ‘සී ඔෆ් ක්‍රයිසිස්’ නමැති භූමි ප්‍රදේශයේය. ‘බ්ලූ ගෝස්ට්’ ගවේෂණ යානය සූර්ය බලයෙන් ක්‍රියාත්මක වෙයි. ඒ සඳහා ඊට සූර්ය පැනල සවි කර ඇත. සඳුගේ අඳුරු පැත්තේ දී යානය අධික සීතලට ලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එය රින -130°C (රින -208°F) තරම් අඩු උෂ්ණත්වයකට ලක් වනු ඇත. බැටරි ආරෝපණය සිදුවන කාලය සැලකිල්ලට ගනිමින්, විද්‍යාඥයන් පවසන්නේ, ‘බ්ලූ ගෝස්ට්’ දින 14 ක කාලයක් සඳ ගවේෂණ කටයුතුවල නියැළෙනු ඇති බවය.

මුලින්ම සඳට මිනිසුන් යැවීම කළේ ඇමෙරිකාවය. සඳට මිනිසුන් රහිත ගවේෂණ යානාය යැවූ රටවල් වන්නේ සෝවියට් රුසියාව, චීනය, ඉන්දියාව සහ ජපානයයි. ‘ෆයර්ෆ්ලයි ඒරෝස්පේස්’ පෞද්ලික සමාගම, චන්ද්‍ර යානයක් සඳ මතට පතිත කිරීමේ මෙම සිදුවීම අනාගතයට ඉතා වැදගත්ය. හේතුව අනාගතයේ අභ්‍යවකාශ කටයුතු බොහොමයක් සිදුවනු ඇත්තේ පෞද්ගලික අංශය සමඟ සම්බන්ධ වෙමිනි. ඇපලෝ මෙහෙයුම්වලින් පසු නාසා ආයතනය නව චන්ද්‍ර ගවේෂණ වැඩසටහන් මාලාවක් ද ආරම්භ කර ඇත. ඊට අවශ්‍ය දත්ත ලබා ගැනීම ‘බ්ලූ ගෝස්ට්’ ට පැවැරෙනු ඇත. යළි සඳට යෑමේ නාසා මෙහෙයුම හැඳින්වෙන්නේ, කමර්ෂල් ලූනා පේලෝඩ් සර්විසස් නමිනි. කෙටියෙන් ‘ක්ලිප්ස්’ ලෙස මෙය හැඳින්වෙයි. සඳට යළි ගගනගාමීන් ගෙන යන නාසා චන්ද්‍ර වැඩසටහන හැඳින්වෙන්නේ ‘ආටිමීස්’ යනුවෙනි. ‘ආටිමීස්’ මෙහෙයුම යටතේ, පළමු වරට සඳට කාන්තාවක යැවීමට ද නාසා සූදානම් වෙයි. ඊට අමතරව, සඳ මතුපිට ජනාවාස පිහිටුවීමට ද සැලැසුම් සකස් කර ඇත.

පළමුවෙන් මිනිසකු සඳමත පය තැබුවේ, ‘ඇපලෝ’ මෙහෙයුම් යටතේ ඇපලෝ 11 යානයෙනි. පළමුවෙන් සඳට පය තැබුවේ නාසා ගගනගාමීන් වන නීල් ආම්ස්ට්‍රෝං සහ එඩ්වින් ‘බස්’ ඕල්ඩ්‍රීන්ය. ඒ, 1969 ජූලි 20 වැනිදාය. අවසන් වරට සිදුවුණු ‘ඇපලෝ’ චන්ද්‍ර මෙහෙයුම ‘ඇපලෝ 17’ ය. ඒ, 1972 වසරේදීය. ඉන්පසු කිසිවකු සඳට ගියේ නැත. ග්‍රීක මිත්‍යා කතා අනුව, ‘ආටිමීස්’ සහ ‘ඇපලෝ’ යනු නිවුන්නුය. මොවුන්ගේ පියා මහ දෙවි සූස් ය. ‘ඇපලෝ’ යනු හිරුට සහ සංගීතයට අදිපති දෙවියාය. ‘ඇපලෝ’ හිරු නම්, ‘ආටිමීස්’ කවුරුන්දැයි යන්න අමුතුවෙන් කිවයුතු නැත. ‘ආටිමීස්’ යනු සඳට අධිපති දෙවඟනය. ආටිමීස් මෙහෙයුම්වලදී දී ගගනගාමීන් සඳට ගෙන යෑමට නාසා ආයතනය භාවිතයට ගනු ඇත්තේ 'ඔරයන්' නමැති ගගන කැප්සියුලයයි. මෙම කැප්සියුලය නියමුවන් රහිතව, සඳට යවා, සඳ වටේ කැරැකීමට සලස්වා ආපසු ගෙන්වා ගෙන ඇත. ඒ, 2022 වසරේ සිදු කළ ‘ආටිමිස් 1’ මෙහෙයුම යටතේය.

‘ආටිමිස් 2’ චන්ද්‍ර මෙහෙයුම යටතේ, සඳට යන ගගනගාමීන් සිවුදෙනා ලොවට හඳුන්වා දීමට ද නාසා ආයතනය පියවර ගෙන ඇත. ‘ආටිමීස් 2’ චන්ද්‍ර මෙහෙයුමට සම්බන්ධ වන ගගනගාමීන් අතර එක් ගගනගාමිණියක් සිටියි. ඊට අමතරව කළු ජාතික ගගනගාමියෙක් සහ කැනඩා අභ්‍යවකාශ ඒජන්සිය නියෝජනය කරන කැනඩා ජාතික ගගනගාමියෙක් ද සිටිති. ඔවුන් රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා හැමෝක් කොෂ් සහ ජෙරමි හැන්සන්ය. ක්‍රිස්ටිනා හැමෝක් කොෂ් මෙහෙයුමට එක්වන කාන්තාවය. වික්ටර් ග්ලෝවර් මෙහෙයුමේ නියමුවා ලෙස කටයුතු කරයි. චන්ද්‍ර මෙහෙයුමකට එක් වන පළමු කළු ජාතික ගගනගාමියා වන්නේ ද මොහුය. රීඩ් වයිස්මන් ‘ආටිමිස් 2’ මෙහෙයුමට නායකත්වය දෙනු ඇත. ජෙරමි හැන්සන් කැනඩා අභ්‍යවකාශ ඒජන්සිය නියෝජනය කරයි. ‘ආටිමීස් 2’ මෙහෙයුමේදී ද ගගනගාමීන් සඳට ගොඩබෑමක් කරන්නේ නැත. මෙම පිරිස සඳුගේ කක්ෂයට පිවිස, ආපසු පෘථිවියට පැමිණෙනු ඇත. ‘ආටිමිස් 2’ දින 10 ක මෙහෙයුමකි. ගගනගාමින් සඳට පය තැබීම සිදු කරන්නේ ‘ආටිමීස් 3’ මෙහෙයුම යටතේය. එය සිදුවනු ඇත්තේ 2027 වසරෙන් පසුව යැයි පැවැසෙයි. පළමු වරට කාන්තාවක් සඳට පය තබනු ඇත්තේ මෙම ‘ආටිමීස් 3’ මෙහෙයුමේදීය.

ඩේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS