ට්‍රම්ප් හමුවන්න ඇමෙරිකාවට
නිල විදෙස් සංචාරක් සඳහා ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට පැමිණ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අද (4) ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට නියමිතය.
ට්‍රම්ප් සිය දෙවැනි ධුර කාලයේ දිවුරුම් දීමෙන් පසු, ඔහු හමුවීමට පැමිණි පළමු විදෙස් රාජ්‍ය නායකයා වනු ඇත්තේ, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුය. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා වොෂින්ටනයට පැමිණියේ ට්‍රම්ප්ගේ විශේෂ ඇරැයුමක් පිළිගනිමිනි.
මෙම නිල සංචාරයේ දී ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් පමණක් නොව, ට්‍රම්ප් පරිපාලනයේ බොහෝ දෙනකු හමුවනු ඇතැයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ හමාස් සංවිධානය සහ ඊශ්‍රායල රජය අතර ආරම්භ වී ඇති සටන් විරාමයේ දෙවැනි අදියර සම්බන්ධයෙන් ද නෙදන්යාහු සහ ට්‍රම්ප් අතරේ සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ඊශ්‍රායල පලස්තීන අර්බුදයේ දී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහාය හිමිවන්නේ යුදෙව් ඊශ්‍රායලයටය.
ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට යළි තේරී පත් වුණු අවස්ථාවේදී පවා වඩාත් සතුටට පත් වුණු ලෝක නායකයකු වන්නේ නෙදන්යාහුය. ඊට හේතුව, ට්‍රම්ප් කොන්දේසි විරහිතව ඊශ්‍රායලය වෙනුවෙන් පෙනී සිටීමයි.
ඊශ්‍රායලය මෙන්ම පලස්තීනය ද අයිතිය ඉල්ලන ජෙරුසලම, ඊශ්‍රායලයේ අගනුවර ලෙස පළමුවෙන් නිල වශයෙන් පිළිගත්තේ ද ට්‍රම්ප්ය. ඒ, ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය අතරතුරේ, ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර පිහිටි ඇමෙරිකන් තානාපති කාර්යාලය, ජෙරුසලමට මාරු කරමිනි.
මේ අතර, ගාසා තීරයේ වෙසෙන පලස්තීන වැසියන්, ගාසා තීරයෙන් ඉවත් කර, ජෝර්දානයේ හෝ ඊජිප්තුවේ හෝ පදිංචි කරවා, ඊශ්‍රායල පලස්තීන ගැටලුව විසඳීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ යෝජනාව පලස්තීන වැසියන්ගේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත.ට්‍රම්ප් මාධ්‍ය හමුවේ වැඩි දුරටත් පවසා ඇත්තේ පලස්තීන වැසියන් ඉවත් කරමින් ගාසා තීරය පිරිසුදු කළ යුතු බවටය.
(ඒ.එෆ්.පී.)