ලොව ’ස්ලෝ’ සතා ’ස්ලෝත්’
මුළු ජීවිත කාලයම ඉතා මන්දගාමී ජීවන රටාවක් ගත කරන ක්ෂීරපායී සත්ත්වයෙකු ගැන ඔබ අසා තිබෙනවා ද?කොතරම් මන්දගාමීදැ යි කිවහොත්, ඇසිපිය ගැසීම පවා මන්දගාමීව කරන සත්ත්වයෙක් ලෝකයේ සිටිය හැකි ද?
සතුන් ගැන උනන්දුවෙන කෙනෙක් නම් ඔබ මේ සත්ත්වයා දැනටමත් හඳුනනවා ඇති.
“ස්ලෝත්” (සිංහල බසින්ය මන්දයා) දකුණු අමෙරිකා සහ මධ්‍යම අමෙරිකාවේ ඇමසන් ඇතුළු නිවර්තන වනාන්තර නිජ භූමිය කරගත් සත්ත්වයෙකි. වනාන්තරය තුළ කුමන ආකාරයේ පෙරළියක් සිදු වුණත්, අවස්ථානුකූල ව කඩිසර වීමේ අවශ්‍යතාවක් ඔවුන්ට නැහැ. ඔවුන්ගේ අතිශය මන්දගාමී ජීවන රටාව ඒ තරමට ම ස්ථාවර යි!
දකුණු සහ මධ්‍යම අමෙරිකානු නිවර්තන වනාන්තර එවැනි සත්ත්වයකුට කිසිසේත්ම සුදුසු වන්නේ නැත. එම වනාන්තරවල විලෝපික විවිධත්වය අධික වීම ඊට හේතුව යි. කෙසේ හෝ වේවා අප පොදුවේ ක්ෂීරපායි සතුන් ගෙන් දකින ක්‍රියාශීලි බව ස්ලෝත් සතුන් වෙතින් දක්නට නොලැබෙයි.
ඔවුන්ගේ රුක්වාසී ජීවිතය, ආරක්ෂාව සලසා ගැනීමේ ප්රබලතම උපාය මාර්ගයක් වුවත්, මළපහ කිරීම සඳහා පොළොව සමීපයට පැමිණෙන සුළු මොහොත පවා ඔවුන් විලෝපිකයකුට ගොදුරු වීමට ප්‍රමාණවත් වේ.
ශාක භක්ෂක සත්වයකු වන මොහුගේ පරිවෘත්තීය වේගය ඉතාමත් අඩු නිසා කුඩා ආහාරයකින් පවා දිගු කලක් ජීවත් වීමේ හැකියාවක් මොවුන්ට ඇත. දිනකට පැය 15ක් පමණ එක දිගටම නින්දට වැටී සිටින මෙම සත්වයා ඉතිරි පැය කිහිපය ගස්වල එල්ලී එහේ මෙහේ යමින් ජීවත් වේ. මෙම සත්වයා කෙතරම් මන්දගාමීද කිවහොත් දිනකට යාර 50ක් වත් දුරකට චලනය වන්නේ නැත.
ස්ලෝත් සතකු හොඳින් නිරීක්ෂණය කළ විට ඔවුන් ගේ ලෝම හරිත පැහැයට හැරී ඇති අන්දම දක්නට හැකිය. පාසි හෝ ඇල්ගී ශරීරය මත වැඩීමට තරම් ඔවුන් නිශ්චල හෝ මන්දගාමීයැයි කෙනකුට හැඟුනත්, සැබැවින්ම එය සහජීවි සබඳතාවක් බව විද්‍යාඥයන් විශ්වාස කරයි. ඔවුන් ගේ ලෝම විශේෂ ආකාරයකින් සැකසී ඇති අතර, ඇල්ගී හෝ පාසි වර්ග වැඩීමට අවැසි අවකාශ එමඟින් සැපයනු ලබයි. එපමණක් නොව, දිලීර වර්ධනයට පවා ඉඩ හසර ලබා දීමට ස්ලෝත් ශරීරය පසුබට වන්නේ නැත.
ස්ලෝත් සතුන් තම ලොම් මත වැවෙන ඇල්ගී ලෙවකන අන්දම විද්‍යාඥයන් නීරික්ෂණය කර තිබේ. එමඟින් ඔවුන්ට අමතර පෝෂක ප්‍රමාණයක් සිරුරට ඇතුළු කර ගැනීමේ අවස්ථාව උදා වේ. අනෙකුත් ක්ෂීරපායීන්ට වඩා ස්ලෝත් සතුන් හමුවේ ඇති පරපෝෂිත අවදානම පවා අවම වේ. ඔවුන් ගේ ලොම්, ජලයට ප්‍රතිරෝධී ස්වභාවයක් දැරීම ඊට හේතුව වේ. පරපෝෂිතයකුට ජලය නොරැඳෙන පරිසරයක ස්ථාවර වීම තරමක දුෂ්කර කාර්යයකි. ඔවුන්ට පොළොව මත ඇවිදීම යනු ඉතා දුෂ්කර කාර්යයක් වේ. ස්ලෝත් සතුන් මන්දගාමී වූ පමණින් දුර්වලයන් ලෙස සැලකිය නොහැකි යි. මිනිසකු ගේ බාහු ශක්තිය සමඟ සංසන්දනය කිරීමේ දී ස්ලෝත් සතකුගේ බාහු ශක්තිය ඉතා ඉහළය. නමුත්, ඔවුන් ගේ පාද ශරීර ස්කන්ධයටවත් උපකාර වන අන්දමින් සැකසී නොමැතිබැවින්, ඔවුන්ට පොළොව මත ඇවිදීම යනු ඉතා දුෂ්කර කාර්යයකි.
අවාසනාවකට මෙන් ඇමරිකානු කලාපයේ සිදුවන දැවැන්ත වනාන්තර විනාශය නිසා මෙම ස්ලෝත් සත්වයින් දැන් දැන් වඳ වීමේ තර්ජනයකට මුහුණ දෙමින් සිටී. එබැවින් තවත් වසර කිහිපයක් තුළදී මෙම සත්වයින් සම්පූර්ණයෙන්ම මෙළොවින් තුරන්ව යනු ඇතැයි සැක කෙරේ.