අලුතින් හමුවුණු සොහොන් ගැබ



පුරාණ ඊජිප්තුව හැඳින්වෙන්නේ මිසරය යනුවෙනි. මිසරයේ රජවරුන් හැඳින්වෙන්නේ පාරාවන් යනුවෙනි. මෙම පාරාවන්ගෙන්, වඩාත් කැපී පෙනෙන්නේ තුතන්කාමන්ය. ළමා රජු යන නමින් ද හැඳින්වෙන තුතන්කාමන්, මිසරය පාලනය කළේ මීට වසර 3,000 කට පෙර ක්‍රි.පූ. 1332 සිට 1323 තෙක් කාලයේය. තුතන්කාමන්ගේ දේහය සහිත මිනී පෙට්ටිය තැන්පත් කළ සොහොන් ගැබ සොයා ගැනීම සිදුවූයේ 1922 දීය. සොහොන් ගැබ සොයා ගැනීම සිදුවූයේ ‘තුත් අක්හ් අමුන්’ පළාතෙනි.

තුතන්කාමන්ගේ සොහොන් ගැබ සොයා ගැනීම පුරාවිද්‍යාත්මක වශයෙන් සිදුවුණු ඓතිහාසික සිද්ධියකි. එය ලොව කැලැඹූ ගවේෂණයකි. දැන් හරියටම අවුරුදු 103 කට පසු, ඒ හා සමාන පුරාවිද්‍යාත්මක සොයා ගැනීමක් ලොවට අනාවරණය කිරීමට බ්‍රිතාන්‍ය සහ ඊජිප්තු පුරාවිද්‍යාඥයෝ සමත් වී සිටිති. 

බ්‍රිතාන්‍ය සහ ඊජිප්තු පුරාවිද්‍යාඥයන් සොයාගෙන ඇත්තේ තවත් පාරාවකුගේ සොහොන් ගැබකි. ඒ, මීට අවුරුදු 3,500 කට පෙර ජීවත් වෙමින් සහ මිසරය පාලනය කළ, 18 වැනි රාජවංශයට අයත්, දෙවැනි වැනි තුත්මෝස් Thutmose II ගේ සොහොන් ගැබය. දෙවැනි වැනි තුත්මෝස්ගේ බිරිඳ හට්ෂෙප්සුට් යැයි ඉතිහාසයේ සඳහන් වෙයි. කැණීම් කරද්දී හමුවුණු සොහොන් ගැබේ නටබුන් අතර සෙල් ලිපි විය. ඒ, සොහොන් ගැබ දෙවැනි තුත්මෝස් බව තහවුරු කරමිණි. 

දෙවැනි තුත්මෝස්ගේ සොහොන් ගැබ අයත් කැණීම් කළ ප්‍රදේශය පුරාවිද්‍යාඥයන් විසින් නම් කරනු ලැබ ඇත්තේ, ටෝම්බ් සී ෆෝTomb C4 යනුවෙනි. මෙම භූමිය ඇත්තේ, ඊජිප්තුවේ ලක්සෝර් ප්‍රදේශයේ, රජුන්ගේ නිම්නයට Valley of the Kings බටහිර දෙසින් කිලෝ මීටර් 2.4 ක් පමණ දුරින් යැයි ඊජිප්තුවේ සංචාරක හා පුරාවස්තු අමාත්‍යාංශය පැහැදිලි කර ඇත. පරම්පරා ගණනක් තිස්සේ මෙම භූමියේ දෙවැනි තුත්මෝස්ගේ සොහොන් ගැබ තියෙන්න ඇතැයි පුරාවිද්‍යාඥයෝ සැක කරන්න වූහ. එසේ වුවත්, සියුම් හෝඩුවාවන් අනුව යමින්, අබිරහස් විස‍ඳමින්, සොහොන් ගැබ පිහිටි නිශ්චිත ස්ථානය හඳුනා ගනිමින්, කැණීම් කර, සොහොන් ගැබ මතු කර ගැනීමට සමත් වූයේ, කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පියර්ස් ලිදර්ලන්ඩ් ප්‍රමුඛ පුරා විද්‍යාඥ කණ්ඩායමය. “මේක ඇත්තටම පුරාණ ඊජිප්තුවේ (මිසරයේ) අබිරහසක් විසඳා ගැනීම හා සමානයි” යැයි මහාචාර්ය පියර්ස් ලිදර්ලන්ඩ් පවසන්නේ ආඩම්බරයෙනි.

දෙවැනි තුත්මෝස් පාරාවෝ, තුතන්කාමන්ගේ මුතුන්මිත්තෙකි. මීට පෙර, පුරාවිද්‍යාඥයන්ට දෙවැනි තුත්මෝස්ගේ සොහොන් ගැබ සොයා ගැනීමට නොහැකි වූයේ, එය ඇත්තේ රජුන්ගේ නිම්නයට නුදුරින් අනෙක් කෙළවරේ යැයි පැවැති විශ්වාසය නිසාය. නමුත් සොහොන් ගැබ හමුවූයේ බටහිර දෙසිනි. පුරාවිද්‍යාඥයන්ට, පාරාවකුගේ එසේත් නැතිනම් රාජකීයයකුගේ සොහොන් ගැබක්, ලක්සෝර් ප්‍රදේශයේ රජුන්ගේ නිම්නයට නුදුරින් බටහිර දෙසින් සොයා ගැනීමට හැකිවුණු පළමු අවස්ථාව මෙයයි.

‘රජුන්ගේ නිම්නය’ යනු පුරාවිද්‍යාත්මක වශයෙන් වටිකාකමින් යුත් කැණීම් භූමියකි. මෙය ඇත්තේ නැගෙනහිර ඊජිප්තුවේය. මිසර රජ පවුලේ ප්‍රධාන මෙන් කැපී පෙනෙන රාජකීයයන් බොහෝදෙනකු මිහිදන් කර ඇත්තේ මෙම නිම්නයේ සොහොන් ගැබ එසේත් නැතිනම් සොහොන් ගෙවල්වලය. එම රාජකීයයන් අතරින් තුතන්කාමන්, හට්ෂෙප්සුට්, 1 වැනි තුත්මෝස්, 1 වැනි අමෙන්හොටෙප් කැපී පෙනෙයි. 

දෙවැනි තුත්මෝස් සොහොන් ගැබ සොයා ගැනීමේ කටයුත්තට දායක වූයේ බ්‍රිතාන්‍යයේ නිව් කිංඩම් රීසර්ච් පුරා විද්‍යා ආයතනය සහ ඊජිප්තු සංචාරක හා පුරාවස්තු අමාත්‍යාංශය එක් වෙමිනි. මහාචාර්ය ලිදර්ලන්ඩ් ‘නිව් කිංඩම් රීසර්ච්’ කණ්ඩායමට නායකත්වය දුන්නේය. මහාචාර්ය ලිදර්ලන්ඩ්, දශකයකට වැඩි කාලයක් පුරා රජුන්ගේ නිම්නයේ කැණීම් කටයුතු සිදු කරන අයෙකි. ඔහු සහ කණ්ඩායමට දෙවැනි තුත්මෝස් නටබුන් වී ගිය සොහොන් ගැබ සොයා ගැනීමට හැකිවූයේ කැණීම් කරද්දී වැලි යට හුණුගල් අතරේ සැඟවී ගිය ගල් පඩිපෙළක් මතු කර ගැනීමත් සමඟය.  හමුවුණු එම විශාල පඩිපෙළ කෙළවර හමුවූයේ පර්වතයක් තුළට යා හැකි කොරිඩෝරයකි. “මුලදී අපි හිතුවේ රාජකීය භාර්යාවකගේ සොහොන අපට හමුවුණු බවයි. ඒත් නටබුන් වූ එම පළල් පියගැටපෙළ සහ විශාල එහි අවසානයේ ඉදි කළ විශාල දොරටුව අපට පෙන්නුම් කළා සොහොන් ගැබ අයිති රජකුට බව.” යැයි මහාචාර්ය ලිදර්ලන්ඩ් වැඩිදුරටත් පැහැදිලි කරයි. මහාචාර්ය ලිදර්ලන්ඩ් සහ කණ්ඩායම පඩිපෙළ සහ කොරිඩෝව පසු කර ගොස් සොහොන් ගැබ තුළට රිංගා ගෙන ඇත්තේ, කුඩා පරතරයක් ඇති මීටර් 10 (අඩි 32) මාර්ගයක් හරහා බඩගා යමිනි. “අතීතයේ මෙම භූමිය ජල ගැලීමකට හසුවී තිබෙන බවට සාක්ෂි අපට හමුවුණා සොහොන් ගැබ විනාශ වන්න ඇත්තේ එයින්. කෙසේ නමුත් නටබුන් වී ඉතිරි වුණු කුටි සියල්ල අප සොයා ගත්තා” යැයි මහාචාර්ය ලිදර්ලන්ඩ් පවසයි. පාරාවන්ගේ සොහොන් ගෙවල්වල පමණක් දක්නට ලැබෙන කහ පැහැති තරු සහිත නිල් පැහැති සිවිලිමක නටබුන් සොයා ගත් බව ද මහාචාර්ය ලිදර්ලන්ඩ් වැඩිදුරටත් පෙන්වා දී ඇත. 

නටබුන් අතරින් හමුවුණු ඇලබැස්ටර් භාජන කොටස්වල දෙවැනි තුත්මෝස් බිරිඳ හට්ෂෙප්සුට්ගේ නම සටහන් කර ඇති බව පැවැසෙයි. දෙවැනි තුත්මෝස් මමීකරණය කළ සිරුර එසේ කිරීමට යොදා ගත් භාජන කීපයක් ද සොහොන් ගැබ තුළින් හමුවී තිබීම විශේෂත්වයකි. කෙසේ නමුත් මිල කළ නොහැකි ආභරණ හෝ බඩුබාහිරාදිය කිසිවක් සොහොන් ගැබ තුළ තිබී නැත. ඇතැම්විට මෙම සොහොන් ගැබ නිදන් කොල්ලකරුවන් විසින් කොල්ල කා දමන්න ඇතැයි අනුමාන කෙරේ. 

මීට වසර 3,500 කට පෙර ජීවත් වූ සහ මිසරය පාලනය කළ දෙවනි තුත්මෝස් රජු, මිසරයේ 18 වැනි රාජවංශයේ පාරාවෝ කෙනෙකි. දෙවැනි තුත්මෝස්ගේ පාලන කාලය වසර 13ක් (ක්‍රි.පූ. 1493 සිට 1479 දක්වා) හෝ යන්තම් වසර තුනක් (ක්‍රි.පූ. 1482 සිට 1479 දක්වා) යැයි පැවැසෙයි. ඔහු වසර පහකට අඩු කාලයක් පාලනය කර ඇතැයි ඉතිහාස තොරතුරුවල දැක්වෙයි. ඔහුගේ බිරිඳ හට්ෂෙප්සුට් සමඟ ඔහුට නෙෆරුරේ සහ නෙෆරුබිටි යන දියණියෝ දෙදෙනෙක් සිටියහ. දෙවන තුත්මෝස් වයස අවුරුදු 30 දී පමණ මිය යන්න ඇතැයි අනුමාන කෙරේ.

බීබීසි ඇසුරිනි


RECOMMEND POSTS