ප්‍රහාරයක් 5 ක් මරුට: 22 ක් රෝහලේ



තුර්කි රජයට අයත්, අන්කාරා අගනුවර පිහිටි, තුර්කි අභ්‍යවකාශ ආයතනයේ මූලස්ථාන ගොඩනැගිල්ලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය.

ප්‍රහාරය සඳහා තරුණියක සහ තරුණයකු පැමිණි බවත්, ඔවුන් වෙඩි තබමින්, තුර්කි අභ්‍යවකාශ ආයතනයේ මූලස්ථාන ගොඩනැගිල්ලට කඩා වැදීමට උත්සාහ කළ අවස්ථාවේදී ඔවුන් කළ වෙඩි ප්‍රහාරවලින් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

එම පස් දෙනා​ගෙන් සිවු දෙනකු සහ තුවාල ලැබූවන් 22 දෙනා  තුර්කි අභ්‍යවකාශ ආයතනයේ සේවකයන්ය. ගිනි අවිවලින් සන්නද්ධ, උණ්ඩ සහ පුපුරන ද්‍රව්‍ය පුරවාගත් බෑග් පිටේ එල්ලාගෙන, එම තරුණිය සහ තරුණයා තුර්කි අභ්‍යවකාශ ආයතනයේ මූලස්ථාන ගොඩනැගිල්ලට පැමිණියේ, කුලී රථයකිනි. තරුණිය සහ තරුණයා, වෙඩි තැබීම් කරද්දී කුලී රියදුරා ද ජීවිතක්ෂයට පත් විය.

තරැණයා සහ තරුණිය වෙඩි තබමින්, අභ්‍යවකාශ ආයතනයට ඇතුළු වන අයුරු සීසීටීවී ආරක්ෂක කැමරාවල සටහන්ව ඇත. එම දසුන් මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී තිබේ. ආරක්ෂක අංශ පෙරළා වෙඩි තබද්දී, එක් ත්‍රස්තවාදියකු වෙඩි වැදී මියගිය අතර, බෝම්බයක් පුපුරුවා ගනිමින් දිවි නසා ගත් බව පැවැසෙයි.

ප්‍රහාරයේ වගකීම කිසිදු පාර්ශ්වයක් බාරගෙන නැතත් තුර්කි ආරක්ෂක අංශ සහ තුර්කි අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අලී යෙර්ලිකාවා චෝදනා කළේ එය කුර්දි පී.කේ.කේ. බෙදුම්වාදී ත්‍රස්තයන්ගේ ක්‍රියාවක් බවය. ප්‍රහාරය එල්ල වූ තුර්කි අභ්‍යවකාශ  මූලස්ථාන ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ අන්කාරා අගනුවර සිට කිලෝ මීටර් 40 ක් දුරිනි.

එල්ල වුණු ප්‍රහාරය සම්බන්ධයෙන් තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් සිය එක්ස් ගිණුම ඔස්සේ පැවැසුවේ, එම සැහැසි ක්‍රියාව සම්බන්ධයෙන්, පී.කේ.කේ. බෙදුම්වාදීන්ට කිසිදු සමාවක් නොදෙන බවය. පී.කේ.කේ. බෙදුම්වාදී ත්‍රස්තයන් ක්‍රියාත්මක වන්නේ, ඉරාකයේ සහ සිරියාවේය. පී.කේ.කේ. බෙදුම්වාදීන් තුර්කි රජය සමඟ ගැටෙන්නේ වසර ගණනක් තිස්සේය.

අභ්‍යවකාශ ආයතනයට එල්ල වුණු ප්‍රහාරයෙන් අනතුරුව, තුර්කි හමුදාව සිරියානු දේශසීමාවේ පී.කේ.කේ. බෙදුම්වාදීන්ගේ ඉලක්ක 30 කට ගුවන් ප්‍රහාර එල්ල කළ බව ද පැවැසෙයි.


RECOMMEND POSTS