ප්‍රියංකා පාර්ලිමේන්තුවට යන්න සූදානම්



ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධිගේ සොහොයුරිය, ප්‍රියංකා ගාන්ධි ඇගේ පළමු මැතිවරණයට සූදානමින් වෙයි. 52 හැවිරිදි ප්‍රියංකා, කේරළ ප්‍රාන්තයේ වයනාද් ආසනය තරඟ වදිනු ඇත. කොංග්‍රස් පක්ෂ බලකොටුවක් ලෙස ද සැලකෙන වයනාද් ආසනය දිනා ගැනීමට ප්‍රියංකා සමත් වුවහොත්, ගාන්ධි පවුල නියෝජනය කරමින් ඉන්දීය පාර්ලිමේන්තුවට යන ගාන්ධි පවුලේ අලුත්ම සාමාජිකයා වනු ඇත්තේ ඇයයි.

මාස දෙකකට වැඩි කාලයක් පැවැති ඉන්දීය මහ මැතිවරණය, ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය විය. ඉන්දීය පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හෙවත් ලෝක් සභාවේ ආසන 543 සඳහා නියෝජිතයන් තෝරා ගැනීම වෙනුවෙන් මහ මැතිවරණය පැවැත්විණි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ, හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය උත්සාහ කළේ  තනිවම ලෝක් සභාවේ ආසන 400 කට වැඩි සංඛ්‍යාවක් දිනා ගැනීමටය. එහෙත්, මෝදි ප්‍රමුඛ ඔහුගේ භාරතීය ජනතා පක්ෂය දිනා ගත්තේ ආසන 240 ක් පමණි. ගැටලුවක් නැත. භාරතීය ජනතා පක්ෂය ඔවුන්ට හිතවත් පක්ෂ සමඟ සන්ධානගතව සිටින බැවින්, මෝදිට පිටපිට තෙවැනි වරටත් අග්‍රාමාත්‍ය ධුරය හිමිවුණු අතර, ඉන්දියාවේ පළමු අග්‍රාමාත්‍ය ජවහර්ලාල් නේරුගෙන් පසු වැඩිම කාලයක් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන අග්‍රාමාත්‍යවරයා බවට ද මෝදි පත් විය.

ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්‍රස් පක්ෂය හැඳින්වෙන්නේ ගාන්ධි නේරු පරපුරේ උරුමය ලෙසය. මෝදිට පළමු වරට ජනවරමක් හිමි වූයේ 2014 ලෝක් සභා මැතිවරණයෙනි. එදා සෝනියා ගාන්ධි සහ ඇගේ පුතු රාහුල් ගාන්ධි මෙහෙයවූ කොංග්‍රස් පක්ෂය අන්ත පරාජයක් හිමි කර ගත්තේය. 2019 මහ මැතිවරණය ද ඊට දෙවැනි නැත. ඉන්දියානුවන් නේරු ගාන්ධි පරම්පරාව ප්‍රතික්ෂේප කර ඇති බවටත්, ජනතාව සොයන නායකයා හින්දුවරුන්ගේ යහපත ගැන සිතන තමන් බවත් මෝදි පැවැසීය. රාහුල් ගාන්ධි හය හතර නොදන්නා පොඩි එකෙකු බව පවසමින් සමච්චල් කළේය. මැතිවරණ පරාජයත් සමඟ ගාන්ධි පවුලට අසන්න සිදුවුණු අපහාස බොහොමය. පක්ෂය ඇතුළින් පවා ඔවුන්ට චෝදනා නැගුණි.

මෙම 2024 වසරේ මහ මැතිවරණයේදී, කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය, ඉන්දියාවේ සෙසු විපක්ෂ සමඟ එක් වෙමින්, ‘ඉන්දියා’ යන නමින්, එක් විශාල සන්ධානයක් ගොඩනගා තිබුණි. මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂයට තනිව ආසන 400 සීමාව පසු කර යෑම කළ නොහැකි වූයේ එබැවිනි. මෙවර මහ මැතිවරණයේ දී කොංග්‍රස් පක්ෂය තනිවම ආසන 99 ක් දිනා ගත්තේය. 2014 සහ 2019 වසරවලදී මෙන් නොව, මෙය ඔවුන් ලැබූ විශිෂ්ට ජයග්‍රහණයකි. කොංග්‍රස් පක්ෂය මැතිවරණයට ඉදිරිපත් වූයේ ගාන්ධි පවුලට සම්බන්ධයක් නැති, ගාන්ධි වාසගම නැති එහෙත් ගාන්ධි පවුලේ හිතවතකු වන මල්ලිකාඅර්ජුන් කාර්ගේගේ නායකත්වයෙනි. මෙවර මහ මැතිවරණයෙන්, ගාන්ධි නේරු උරුමය වන කොංග්‍රස් පක්ෂය මේ අයුරින් යළි ජනතා ප්‍රසාදය දිනා ගැනීම ඉන්දීය දේශපාලනයේ පෙරැළියකි.

අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් දේශපාලන කටයුතුවලින් සෝනියා ගාන්ධි ඉවත් වෙද්දී, ඇය ඇගේ වැඩිමල් පුතා සහ බාල දියණිය දේශපාලන වේදිකාවට ගොඩ කර තිබුණි. පියාගේ අඩිපාරේ යමින් 54 හැවිරිදි රාහුල් ගාන්ධි, දේශපාලනයට පිවිසියේ 2004 වසරේ පමණ සිටය. මෙම 2024 මහ මැතිවරණයේ දී රාහුල් ගාන්ධි කේරළ ප්‍රාන්තයේ වයනාද් ආසනය වෙනුවෙන් පමණක් නොව, උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ රායි බරේලි ආසනය වෙනුවෙන් ද තරග වැදුණේය. එම ආසන දෙකම ජය ගත්තේය. ඉන්දීය නීතියට අනුව, ආසන දෙකකින් පාර්ලිමේන්තුව නියෝජනය කළ නොහැකිය. එබැවින් රාහුල් වයනාද් ආසනය අත්හැරියේ සොහොයුරිය ප්‍රියංකා ගාන්ධි වද්‍රා ට එය බාර දෙමිනි.

1972 ජනවාරි 12 වැනිදා උපන් ප්‍රියංකා ගාන්ධි, ඝාතනයට ලක් වුණු හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි සහ සෝනියා ගාන්ධිගේ එකම දියණියයි. ඇය ඉන්දීය ආග්‍රාමාත්‍යවරියක වූ ඉන්දිරා ගාන්ධිගේ මිණිපිරියයි. ඉන්දිරා ගාන්ධිගේ පියා ජවහර්ලාල් නේරුය. නේරු විවාහ වූයේ ඉන්දීය නිදහස් සටනට සම්බන්ධ ක්‍රියාකාරිනියක වූ කමලා කෝල් සමඟය.‍ නේරු සහ කමලාගේ එකම දියණිය ඉන්දිරා, විවාහ වූයේ ෆෙරෝස් ගාන්ධි සමඟය. (මහත්මා ගාන්ධි සහ ‌ෆෙරෝස් ගාන්ධි අතරේ නෑකමක් නැත. ඇතැම් ඉන්දීය ඉතිහාසඥයන් පෙන්වා දෙන ආකාරය පාර්සිවරයකු වන ෆෙරෝස්ගේ සැබෑ වාසගම ගාන්ධි නොව, ගාන්දේ ය. නිදහස් සටනට සම්බන්ධ වෙද්දී ෆෙරෝස් ගාන්දේ යන වාසගම ගාන්ධි ලෙස වෙනස් කරගෙන ඇත. රජිව් ගාන්ධි, සෝනියා ගාන්ධි, රාහුල් සහ ප්‍රියංකා ගාන්ධි ට ‘ගාන්ධි’ වාසගම ලැබුණේ ඒ අනුවය.)

2019 වසරේ පැවති මහ මැතිවරණයට පෙර සිටම, සොහොයුරු රාහුල්ටත්, මව සෝනියාටත් සහාය වෙමින්, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ නැගෙනහිර කලාපයේ කොංග්‍රස් පක්ෂයේ ප්‍රචාරක කටයුතු භාරව කටයුතු කළේ ප්‍රියාංකාය. 2019 මැතිවරණය පැවැත්වෙද්දී ඇය උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ කොංග්‍රස් පක්ෂ ලේකම්වරිය ලෙස ද කටයුතු කළාය. ඊට පෙර, මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සම්බන්ධ වුවත්, ඇය කිසිදු තනතුරක් බාර ගෙන තිබුණේ නැත. 2019 මහ මැතිවරණයේදී සහ 2022 වසරේ පැවති ප්‍රාන්ත මැතිවරණවලදී කොංග්‍රස් පක්ෂය දුර්වල මට්ටමක පැවතිය ද, ප්‍රියංකා ගාන්ධි දෝෂ දර්ශනයට ලක්වූයේ නැත. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පෙන්වා දුන්නේ, කොංග්‍රස් පක්ෂය දුර්වල වීම ඇගේ වරදින් සිදුවූවක් නෙවන බවත් ඇය ඇයට හැකි උපරිම ආකාරයට කැපවීමෙන් පක්ෂය වෙනුවෙන් කටයුතු කළ බවත්ය.

2019 දී කොංග්‍රස් පක්ෂයේ මහ ලේකම් ධූරයට පත් කළ ප්‍රියංකා ගාන්ධි, එතැන් සිට ප්‍රාන්ත මැතිවරණ කිහිපයකදී ම පක්ෂයේ ප්‍රචාරක කටයුතු අධීක්ෂණය කළාය. ප්‍රාන්ත මට්ටමින් කොංග්‍රස් පක්ෂ නායකයන් කීප දෙනකු කැරැළි ගැසූ අවස්ථාවේදී, ඒවාට මැදිහත් වී විසඳුම් සෙවීමට සමත් වූයේ ප්‍රියංකාය.‍ හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ කොංග්‍රස් පක්ෂ රජය ස්ථාවරව පවත්වා ගෙන යෑමට ඉවහල් වූයේ ප්‍රියංකාගේ මැදිහත් වීමෙන් බව කොංග්‍රස් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අදහසය. ගාන්ධි පවුලේ බලකොටු ලෙස සැලකෙන ඇමෙති සහ රායි බරේලි ආසන ඇතුළු උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කොංග්‍රස් පක්ෂ ප්‍රචාරක කටයුතු ඉතා හොඳින් මෙහෙයවීමේ ගෞරවය හිමිවන්නේ ද ප්‍රියංකාටය.

ප්‍රියංකාගේ පෙනුම ඇයගේ මිත්තණිය, හිටපු අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධිට සමාන යැයි පැවැසෙයි. එහි කිසියම් සත්‍යතාවක් ද ඇත. මෙය ද ප්‍රියංකාගේ ජනප්‍රියත්වයට බලපා ඇති බව විශ්වාස කෙරේ. ඇය පක්‍ෂ නායකත්වයට පත් කළ යුතු බවට ද, මෙවර මැතිවරණයේ දී කොංග්‍රස් පක්‍ෂයේ අගමැති අපේක්‍ෂිකාව ඇය විය යුතු බවට ද යෝජනා ඉදිරිපත්ව තිබේ. එල්ටීටීඊ කොටි ත්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පියා රජීව් ගාන්ධි මිය යන විට ඇයගේ වයස අවුරුදු 19 ක් විය. ගාන්ධි පවුලටම තිබූ ආරක්ෂක තර්ජන නිසා කලක් ප්‍රියංකාට සහ රහුල්ට උසස් අධ්‍යාපන කටයුතු අසීරු විය. එහෙයින් ප්‍රියංකාට සහ රහුල්ට අධ්‍යාපනය ලබා දීම සිදුවූයේ නිවසට ගුරුවරුන් ගෙන්වමිනි. ප්‍රියංකා විවාහ වී සිටින්නේ ප්‍රකට ව්‍යාපාරිකයකු වන රොබට් වද්‍රා සමඟය. ප්‍රියංකා-රොබට් යුවළට දරුවෝ දෙදෙනෙකි. වැඩිමලා පුතකු වන අතර ඔහු රේහාන් වද්‍රා ය. ඔහුගේ වයස අවුරුදු 23 කි. බාලයා දියණියකි. ඇය මිරායා ය. ඇගේ වයස අවුරුදු 21 කි. ප්‍රියංකාගේ සැමියාට මුදල් විශුද්ධිකරණ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ. 2014 වසරට පෙර කොංග්‍රස් පක්ෂය බලයේ සිටින කාලයේ උපයාගත් ධනයෙන් ලන්ඩනයෙන් ඔහු නිවාස කිහිපයක් මිලදී ගත් බවට එම චෝදනා එල්ල කර ඇත්තේ භාරතීය ජනතා පක්ෂයයි.

ඉන්දීය මාධ්‍ය ඇසුරිනි


RECOMMEND POSTS