හමාස් නායකයා මරා දැමේ



හමාස් නායක යාහ්යා සින්වාර් මරා දැමීමට, ඊශ්‍රායල හමුදා සමත් විය. ඒ දකුණු දිග ගාසා තීරයේ සිදු කළ මෙහෙයුමකදීය. 

හමාස් නායක යාහ්යා සින්වාර් ඝාතනය කිරීම, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ගෙන යන යුද්ධයේ අවසානය නොවන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අවධාරණය කර ඇත.

අග්‍රාමාත්‍ය නෙදන්යාහු ප්‍රතිඥා දී ඇත්තේ ගාසා තීරයෙන් හමාස් සාමාජිකයන්ගෙන්  මුලිනුපුටා දමන බවය.
ඊශ්‍රායල හමුදාව මෙසේ පැවැසුවේ විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි.

පෙරේදා (16) දිනයේ කළ මෙහෙයුම්වලින් යාහ්යා සින්වාර් සහ තවත් හමාස් සටන්කාමීන් තිදෙනකු ජීවිතක්ෂයට පත් වුණු බවත්, යාහ්යා සින්වාර්ගේ සිරුර තමන් සතු බවත් හමුදාව පවසා ඇත. 

එසේ වුවත්, ඒ බව තහවුරු කිරීමට ඩී.එන්.ඒ. පරීක්ෂණයක් ද පවත්වන බව ඊශ්‍රායල හමුදාව වැඩි දුරටත් අවධාරණය කර ඇතැයි ද පැවැසෙයි. යාහ්යා සින්වාර් මියගිය බව හමාස් සංවිධානය තවමත් තහවුරු කර නැත.

ඊශ්‍රායල හමුදා සහ බුද්ධි අංශ වසකර කාලයක් යාහ්යා සින්වාර් සොයමින්, ඔහු ලුහුබැඳ ගිය බවත් අවසානයේ යාහ්යා සින්වාර් පමණක් නොව, ඔහුගේ සමීපතමයන් තිදෙනකු ඝාතනය කිරීමට හැකි වූ බව ඊශ්‍රායල හමුදාව නිකුත් කළ එම නිවේදනයේ දැක්වෙයි.

ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ මෙහෙයුම් සිදු කරන්නේ, පසුගිය ඔක්තෝබර් 7 වැනිදා, හමාස් සටන්කාමීන්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ගේ ද සහාය ඇතිව ඊශ්‍රායලයට කඩා වැදී කළ පහර දීමෙන් අනතුරුවය. එදා සිට මේ දක්වා ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් මියගිය ගාසා තීරයේ පලස්තීනුවන් ගණන 42,000 පසු කර ඇත. 

62 හැවිරිදි යාහ්යා සින්වාර්, හමාස් සංවිධානයේ නායකයා බවට පත්වූයේ 2017 වසරේදීය. ඊට පෙර ඔහු වසර 22 ක්, ඊශ්‍රායල බන්ධනාගාරයක සිරකරුවෙක් විය. ඔහු මුදා හැරුණේ 2011 වසරේ දී ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතරේ සිදුවුණු සිරකරු හුවමාරුවකදීය.


RECOMMEND POSTS