ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරමින් ලෙබනනයට



ඉරාන ගුවන් යානා ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතා නායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර් බස් ඒ 321 වර්ගයේ මගී ගුවන් යානයක් පියාසර කරමින් ලෙබනනයේ බේරුට් නගරයට පැමිණ බව ලෙබනන ජාතික පුවත් සේවය ප්‍රකාශ කළේය.

එම සංචාරයේදී ඉරාන කතානායකවරයා පසුගියදා සති කීපයේදී ඊශ්‍රායල ආරක්ෂක හමුදා දැඩි ලෙස ප්‍රහාර එල්ල කළ බේරුට් නගරයේ ස්ථාන නැරඹීමටද ගොස් ඇති බවද පැවැසෙයි. ලෙබනනයට සැමවිටම ඉරානයේ සහාය හිමිවන බව පෙන්වා දීම ඉරාන කතානායකවරයාගේ සංචාරයේ අරමුණ වී තිබිණි. එහිදී ඊශ්‍රායලයේ අපරාධ කලිබාෆ් හෙළා දැක ඇති අතර ජාත්‍යන්තර සංවිධානවලට සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට ඊශ්‍රායලය නැවත්වීමට හැකියාව ඇති නමුත් එම පාර්ශ්ව කිසිවක් නොකර නිශ්ශබ්දව සිටින බවද පවසා ඇත.

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ලෙබනනයේ බෝම්බ හෙලූ ස්ථාන නැරඹීමට යාමට ප්‍රථමයෙන් ලෙබනන අගමැතිවරයා මුණගැසී ඇති බවත් ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර සටන් විරාම ගිවිසුමක් ඇති කිරීමට ඉරාන රජය ප්‍රමුඛත්වය දෙන බව එහිදී ඔහු පවසා ඇති බවත් ලෙබනන ජාතික පුවත් සේවය ප්‍රකාශ කළේය.

එසේම ලෙබනන කතානායකවරයා සහ හිස්බුල්ලා සංවිධානයට සහාය දක්වන නීති සම්පාදකයන් කීප දෙනකුද බේරුට් සංචාරයේදී ඉරාන කතානායකවරයා මුණ ගැසෙනු ඇති බවද පැවැසෙයි.

ඉරාන කතානායකවරයා බේරුට් නගරයට පැමිණි ගුවන් යානයේ තවත් ඉරාන දූත පිරිසක්ද බේරුට් නගරයට පැමිණ ඇති බව ලෙබනන ජාතික පුවත් සේවය ප්‍රකාශ කළේය. ඉරාන පාර්ලිමේන්තු කතා නායක මොහොමඩ් බකර් කලිබාෆ් පාර්ලිමේන්තුවට පැමිණීමට පෙර ඉරාන ගුවන් හමුදාවේ සේවය කළ අයෙකි.

ඉරාන ගුවන් යානා ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී මෙලෙස ඉරාන කතානායකවරයා ඔහු විසින්ම කිසිම බියක් නොමැතිව ගුවන් යානයක් පදවා ගෙන බේරුට් නගරයට පැමිණ ඇත්තේ පසුගියදා ඉරානය සිදුකළා යැයි පැවසෙන ඉරාන න්‍යෂ්ටික අවි අත්හදා බැලීමේ සාර්ථකත්වය නිසාවෙන් යැයි ඇතැම් යුද විශ්ලේෂකයෝ මත පළ කළහ.


RECOMMEND POSTS