පහර දෙන හැටි ඇමෙරිකන් බුද්ධි වාර්තාවලින් එළියට



 
ඊශ්‍රායලය, ඉරානයට හමුදා ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් බවත්, ඊශ්‍රායලය එම ප්‍රහාරය එල්ල කරන ආකාරය පිළිබඳවත්, ඇමෙරිකන් බුද්ධි අංශ සකස් කළ අතිශය රහස් වාර්තා දෙකක්, සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.
 
එම රහස් වාර්තා ප්‍රසිද්ධ වීමත් සමඟ මහත් ආන්දෝලනයක් හටගත් බව ද පැවැසෙයි. මෙම අතිශය රහස් වාර්තා ඇමෙරිකන් බුද්ධි අංශ විසින් සකස් කර ඇත්තේ පසුගිය ඔක්තෝබර් 15 සහ 16 වැනිදාය. පසුගිය දා ඒවා මුලින්ම ප්‍රසිද්ධියට පත්වූයේ සමාජ මාධ්‍ය ඔස්සේ, ඉරාන හිතවාදීන් අතරේය. අතිශය රහස් වාර්තා ප්‍රසිද්ධියට පත්වූයේ කෙසේදැයි යන්න සෙවීමට ඇමෙරිකන් ආරක්ෂක අංශ මේ වනවිටත් කඩිනමින් විමර්ශන ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.
 
ඊශ්‍රායලය සහ ඉරානය අතරේ යුද්ධයක් හටගනීවි යැයි බියක් පවතී. ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කරන බවට ඊශ්‍රායලය අනතුරු අඟවා ඇත. ඊශ්‍රායලය මෙම අනතුරු ඇඟවීම කළේ ඉරානය පසුගිය පළමු වැනිදා ඊශ්‍රායලයට මිසයිල වරුසාවකින් ප්‍රහාර දීමට උත්සාහ ගැනීමෙන් පසුවය. එම මිසයිල ප්‍රහාරය ව්‍යර්ථ කර ගැනීමට ඊශ්‍රායල හමුදාව සමත් විය.
 
ඊශ්‍රායලය ඉරානය සමඟ අර්බුදයකට පැටලී සිටින්නේ ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාරයේ දිගුවක් ලෙසය. හමාස් සටන්කාමීන්ට ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ සහාය හිමිවන අතර, හිස්බුල්ලා සංවිධානය සහ හමාස් සංවිධානයට ඉරානයේ සහාය හිමිවෙයි.
 
ඊශ්‍රායලය ඉරානයට හමුදාව යොදවා ප්‍රහාරයක් එල්ල කළහොත්, ඇමෙරිකාව ඊශ්‍රායලයට හමුදා සහාය ලබා දෙනු ඇති බවත්, රුසියාවත් චීනයත් ඉරානයට සහාය දීමට ඉදිරිපත් වනු ඇති බවත් පැවැසෙයි. ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් යෝජනා කර ඇත්තේ ඉරානයේ තෙල් නිධි සහ තෙල් පිරිපහදු ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය පහර දිය යුතු බවය. මෙය බටහිර රටවලත්, මැදපෙරදිග රටවලත් දැඩි විරෝධයට හේතුවක් වී ඇත.

RECOMMEND POSTS