සහරාවට ඇද හැලුණු මහ වැස්ස



අග්නිදිග මොරොක්කෝවේ සහරා කාන්තාර අන්තය කියන්නෙ ලෝකයේ වඩාත්ම ශුෂ්ක ස්ථාන වලින් එකක් වේ. මෙසේ වඩාත් නියඟයෙන් පීඩා විඳින ප්‍රදේශයක් පෝෂණය කරමින් මොරොක්කෝ සහරා කාන්තාර අන්තයට පසුගිය සැප්තැම්බර් මස අගදී දුර්ලභ වර්ෂාවක් පතිත විය.

උතුරු අප්‍රිකාවේ මොරොක්කෝවේ සිට නැගෙනහිර බටහිර අප්‍රිකාව දක්වා සහරා කාන්තාරය පැතිර යයි. වසර අවුරුදු 50 ක කාලයකට පසුව සහරා කාන්තාරයට වැසි ඇද හැලී එහි බොහෝමයක් ප්‍රෙද්ශ ජලයෙන් යට වී ගිය ආකාරය අපට පසුගිය දින වල දැකගත හැකිවිය. අධික උෂ්ණත්වයකට හිමිකම් කියන , එහි උණුසුම් බව මෙතෙක් යැයි පවා කිව නොහැකි වැලි කතරක් අධික වර්ෂාවට නතුවීම නිසා කාන්තාරයේ තැන් තැන් වල තාවකාලික විල් පවා නිර්මාණය වී තිබේ. පරිසරවේදීන් , භූ විද්‍යාඥයන් සහ ස්වාභාවික විද්‍යාඥයින් මේ සිදුවීම අනාගතය කෙරෙහි කෙසේ බලපෑම් කරනු ඇත්ද යන්න පිළිබද අනතුරු අගවමින් සිටින අතර මෙවන් අසාමාන්‍ය සිදුවීමක දීර්ඝකාලීන පාරිසරික සහ භූ විද්‍යාත්මක බලපෑම කුමක් වනු ඇතිදැයි විද්වත්හු මේ වන විටත් පර්යේෂණ පවත්වයි.

මොරොක්කෝ රජය පවසන ආකාරයට සැප්තැම්බර් මාසයේ වැසි වැටීම් කාලය තුලදී දින දෙකක වර්ෂාපතනය වාර්ෂික සාමාන්‍ය අගයන් ඉක්මවා ගොස් ඇති අතර රබාත් අගනුවරට දකුණින් කිලෝමීටර් 450ක් පමණ දුරින් පිහිටි ටගුනයිට් ගම්මානයේ පැය 24ක කාලයක් තුළ මිලිමීටර් 100 (අඟල් 3.9) කට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා වූ බවයි. මේ වැස්සේ විශේෂත්වය වෙන්නේ, අඛණ්ඩව වසර හයක නියඟයකින් පීඩා විඳි මොරොක්කෝවට මේ අසාමාන්‍ය වැස්ස, වසර 50 කින් වැස්සක සිහිල නොලැබූ මේ සහරා කාන්තාර අන්තය ජලයෙන් යට කරමින් පිපාසිත විල් පුරවමින්, ක්ෂේම භූමි වලට පණ පෙවීමයි.

කාලගුණ විද්‍යාඥයන් මේ මහා වැස්ස හඳුන්වන්නේ නිවර්තන කලාපීය කුණාටුවක් ලෙසයි. එවැනි වැසි, වාතයේ වැඩි තෙතමනයක් රඳවා තබා ගනිමින්, වැඩි වාෂ්පීකරණයක් ඇති කරමින් තවත් කුණාටු ඇති කරවන බැවින්, ඉදිරි වසර කිහිපය තුළ මේ කලාපයේ කාලගුණයේ ගමන් මග සැබවින්ම වෙනස් කළ හැකි බව ඔවුන් පෙන්වා දෙයි. ඒ අනුව විශේෂඥයන් යෝජනා කරන්නේ මේ අධික වර්ෂාව රැගත් කුණාටුව මොරොක්කෝවේ සහ ඒ අවට කලාපයේදේශගුණයට දිගුකාලීන බලපෑම් ඇති කළ හැකි බවයි.

ක්ෂණිකව පැමිණි ජලය නිසාවෙන් ශාක සහ සතුන් සහිත තාවකාලික ක්ෂේම භූමි නිර්මාණය වී තිබේ. ප්‍රාදේශීය ජීවීන් වන කාන්තාර නරියන් හා සංක්‍රමණික පක්ෂීන් අලුතින් ඇති වූ ජල මූලාශ්‍ර කරා ඇදී එන අතර මෙතෙක්කල් අක්‍රිය තත්වයේ පැවති කාන්තාර ශාක වන ඇකේෂියා සහ මාංසල ශාක වර්ගවල බීජ සශ්‍රීක වී තෙතමනය සහිත පසෙහි ව්‍යාප්ත වීම නිසා කෙටිකාලීන වශයෙන් සහරාවේ පාරිසරික පද්ධතිය වර්ෂාවේ ප්‍රතිලාභ භුක්ති විදිමින් සිටී. නමුත් පරිසරවේදීන් නම් පවසන්නේ මේ ප්‍රතිලාබ තාවකාලික බවයි. නිසරු භූමියක් වන මෙය අඛණ්ඩව තෙතමනය පවත්වාගෙන යන්නට තරම් හැඩගැසී නොමැති හෙයින් ද බොහෝ ශාක සහ සත්ත්වයින් හැඩ ගැසී ඇත්තේ කටුක පාරිසරික තත්වයන්ට නිසා සහ එක දිගට පවතින තෙතමනය සහිත කාල පරිච්ඡේදයන් නිසා මෙම සියුම් සමබරතාවය බිදවැටෙන්නට ඉඩ ඇති බව පරිසරවේදීන්ගේ මතයයි.

ක්ෂණික ජල මතුවීම නිසා මේ කලාපය තුළ ආක්‍රමණශීලී විශේෂයන් සහ ලෙඩ රෝග ඇතිවන්නටද ඉඩ තිබේ. එක් රැස් වී ඇති ජලය පල් වීම නිසා කාන්තාර පරිසරයට නුහුරු ලෙඩ රෝග පතුරුවන මදුරුවන් සහ වෙනත් පලිබෝධකයන් සදහා මෙය වාසභූමියක් වන්නටද ඉඩ තිබේ. මේ තත්ත්වය කාන්තාරයට මායිම්ව සිටින මානව ජනගහනයන්ට සහ පශු සම්පත් කෙරෙහි තර්ජනයක් එල්ල කරන්නට ඉඩ තිබේ.

වර්තමානයේ කාන්තාර ප්‍රදේශ වෙලා තියෙන ගොඩක් තැන් මීට වසර ලක්ෂ ගානකට කලින් විශාල වනාන්තර වලින් වැසුනු, විවිධ ජීවීන් වාසය කරපු ජලය පිරුනු ප්‍රදේශ කියලා විද්‍යාඥයන් විසින් හොයාගෙන තිබෙන අතර සෑම වසර 21 000 කට වතාවක් පෘතුවි කක්ෂයේ සහ අක්ශාංෂ - දේශාංෂ වල වෙනස් වීමක් ඇතිවන බව විද්‍යාඥයන් විසින් පවසයි.

ඉතින් මේ වෙනස නිසා පෘතුවිය තුල වැසි ලැබෙන ආකාරය සහ වැසි ලැබෙන ප්‍රදේශයන් වෙනස් වන බව තමයි ඔවුන් පවසන්නේ. මේ ආකාරයෙන් වැස්ස ලැබෙන එක වෙනස් වීමත් එක්ක වර්තමානයේ වනාන්තර ලෙසින් තිබෙන ප්‍රදේශ කාන්තාර බවටත් වර්තමානයේ කාන්තාර ප්‍රදේශ විදියට තියෙන ස්ථාන , වනාන්තර බවටත් පත් වෙනවාලු . පසුගිය වසර 800 000 පමණ කාලයක් දක්වා මේ පිලිබඳව පර්යේෂණ වලට අනුව, මේ කාන්තාර වනාන්තර වීමත් , වනාන්තර ප්‍රදේශ කාන්තාර බවට පත් වීමත් චක්‍රයක් ආකාරයට සිදුවී ඇති බව විද්‍යාඥයන් පවසයි.  

ඉතිං මේ අපි අත්විඳින්න යන්නේ මේ චක්‍රයේ තවත් එක පියවරක් වියහැකිද ? 

සටහන - ජයනි සිතාරි අල්විස්


RECOMMEND POSTS