ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් පලස්තීනුවෝ 55 ක් මරුට



ඊශ්‍රායල ගුවන් හමුදාව, ගාසා තීරයේ රෆා නුවරට නුදුරින් රෆා පළාතේ ස්ථාන කීපයකට ගුවන් ප්‍රහාර එල්ල කළේය. එම ගුවන් ප්‍රහාරවලින් රෆා නගරය අසන්නයේ ඉදි කළ, පලස්තීන වැසියන් රැඳී සිටි කූඩාරම් සමූහයක් ගිනිගෙන විනාශ විය. එම ගින්නට හසුවීමෙන්, ගාසා වැසියන් 55 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව පලස්තීන සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඊශ්‍රායල ගුවන් හමුදාව, රෆා නගරය ආශ්‍රිතව ප්‍රහාර එල්ල කළේ ගාසා තීරයේ හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර ඉලක්ක කර ගනිමින් එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු දෙමිණි.

ඊශ්‍රායල හමුදාව සතු මිසයිල නාශක පද්ධති වහා ක්‍රියාත්මක වූ බැවින්, හමාස් සටන්කාමීන්ගේ එම මිසයිල ප්‍රහාරයෙන් කිසිවකුටවත් අනතුරක් සිදුනොවිණි.

හමාස් සටන්කාමීන් මේ අයුරින් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් එල්ල කළේ පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා ඔවුන් දේශසීමා හරහ ඊශ්‍රායලයට කඩා වැදී කළ පහර දීමෙන් පසු පළමු වරටය. ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සන්කාමීන් මුලිනුපුටා දැමීමට ප්‍රහාර ආරම්භ කළේ එම ඔක්තෝබර් 7 වැනිදා ප්‍රහාරයෙන් පසුවය.

හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලයට පහර දුන්නේ ඊශ්‍රායලය බටහිර රටවල ද විරෝධය නොතකා, ගාසාතීරයේ දකුණු දෙසින් පිමිටි රෆා නගරයට විටින් විට පහර දෙන බැවිනි.

ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහරදීම ආරම්භ කළේ උතුරුදිග ගාසා තීරයෙනි. ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පලා ගිය පලස්තීනුවන් ලක්ෂ 3 ක පිරිසක් මේ වනවිට රැඳී සිටින්නේ ද රෆා නගරයේය. රෆා නගරය ඇත්තේ ගාසා තීරයේ ඊජිප්තුවට මායිම්වය.


RECOMMEND POSTS