63 ක් තවමත් හමාස් ප්‍රාණ ඇපයේ



මීට වසරකට පෙර, 2023 ඔක්තෝබර් 7 වැනිදා, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලයට කඩා වැදී, පහර දී ප්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා තීරයට රැගෙන ගිය ඊශ්‍රායල වැසියන් 251 දෙනාගෙන්, 63 දෙනකු තවමත් හමාස් ග්‍රහණයේ පසුවන බව වාර්තා වේ.

මෙම 63 දෙනා අතරේ, පිරිමින් 51 දෙනකු, ගැහැනුන් 10 දෙනකු සහ කුඩා දරුවන් දෙදෙනකු ද සිටින බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි. ඉතිරි පිරිස ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්වන්න ඇති බවත් පැවැසෙයි.

2023 ඔක්තෝබර් 7 වැනිදා, හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලයට කඩා වැදී පහර දී පැහැරගත් 251 දෙනාගෙන්, 117 දෙනකුට නිදහස හිමිවූයේ පසුගිය නොවැම්බරයේ සතියක කාලයක් පැවැති සටන් විරාමයක් අතරතුරේය. එම සතියක කාලයේ, නිදහස ලැබූ වැඩිදෙනා කාන්තාවන් සහ කුඩා දරුවන් මෙන්ම, ඊශ්‍රායලයට පැමිණ සිටි විදෙස් ශ්‍රමිකයන්ය.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ අණ පරිදි, ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමේ අරමුණින් ප්‍රහාර ආරම්භ කළේ ච පසුගිය 2023 ඔක්තෝබර් 7 වැනිදාය. ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීන වැසියන් 42,000 කට ආසන්න පිරිසක් මියගොස් ඇති අතර, 92,000 ක් තුවාල ලබා සිටින බව පැවැසෙයි. 

(අල් ජසීරා)


RECOMMEND POSTS