ඊශ්‍රායලයට ආයුධ දීම දැන්වත් නවත්වන්න



ඊශ්‍රායලයට ආයුධ ලබා දීම නැවැත්විය යුතු යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය ඇතුළු සෙසු ලෝක බලවතුන්ගෙන් ඉල්ලා ඇත.

ප්‍රංශ ජනාධිපතිවරයා සහෝදර බටහිර රටවලින් මෙම ඉල්ලීම කළේ ඊශ්‍රායලය ගාසා තීරයට බෝම්බ දැමීම අරඹා වසරක් ගතවීම සහ ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත දිගින් දිගටම පහර දීම සැලකිල්ලට ගනිමිනි.

“පලස්තීනුවන්ගේ ජීවිත අනතුරේ දමමින් ඊශ්‍රායලය වසරක් තිස්සේ ගාසාවට බහර දෙනවා. දැන් ලෙබනනයට පහර දෙනවා. ඊශ්‍රායලයට සතුරන් අඩපණ කිරීමට අයිතිය තිබෙන බව ඇත්ත. නමුත් අහිංසක වැසියන් මියයනවා. දැන් ඇති. ඊශ්‍රායලය දේශපාලනික විසඳුමකට යන්න ඕනෑ. තව දුරටත් ගාසා තීරයට පහර දෙන්න ඊශ්‍රායලයට ආයුධ ලබා දීම නොකළ යුතුයි.” යැයි ප්‍රංශ ජනාධිපති මැක්රොන් අවධාරණය කර තිබේ.

ප්‍රංශය සහ ඊශ්‍රායලය සමීප මිතුරන් වන නමුත්, ගාසා තීරයේ පලස්තීන වැසියන් මියයෑම සම්බන්ධනේ ප්‍රංශ ජනාධිපති මැක්රොන් නිරන්තරයන් සිය කනස්සල්ල ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහුට පැහැදිලි කර තිබේ. ප්‍රංශය යුරෝපයේ බලවත් රාජ්‍යයක් වන අතර යුරෝපා සංගමයේ ප්‍රබලයෙකි. ඊට අතරව ප්‍රංශය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ද ප්‍රබල සාමාජිකයෙකි.

ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන් සමඟ ගැටුම් ඇති කරගත්තේ, පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා ගාසා හමාස් සටන්කාමීන් ලෙබනන හිස්බුල්ලා සංවිධානයේ ද සහාය ඇතිව ඊශ්‍රායලයට කඩා වැදී කළ ප්‍රහාරයෙන් පසුවය. 

එම අවස්ථාවේදී සිය ගණනක් ඊශ්‍රායල වැසියන් ප්‍රාණ ඇපයට ගෙන ගාසා තීරයට රැගෙන ගිය අතර, අද වනවිට ඔවුන් ජීවතුන් අතර සිටිනවා ද නැද්ද යන්න පවා නොදන්නා බව වාර්තා වේ.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හමාස් සටන්කාමීන් ගාසා තීරයෙන් මුලිනුපුටා දමන බවටය ප්‍රතිඥා දී ඇති අතර, ඊශ්‍රායල හමුදා ගාසා තීරයට ගුවනින් සහ ගොඩබිමින් ද ප්‍රහාර එල්ල කිරීම ආරම්භ විය. 

ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් මේ වනවිට, මියගිය ගාසා පලස්තීනුවන් ගණන 41,825 කි. තුවාල ලැබූ ගණන 96,910 කි. මියගිය අය සහ තුවාල ලැබූවන් අතරේ සිටින වැඩි දෙනා කුඩා දරුවන් සහ කාන්තාවන් බව වාර්තා වේ.

ඊශ්‍රායලයේ අරමුණ වී ඇත්තේ, ගාසා තීරය ජීවත් වීමට නුසුදුසු ස්ථානයක් බවට පත් කිරීමය. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ද පෙන්වා දී ඇත්තේ ගාසා තීරය මේ වනවිට මිහිපිට අපායක් බවට පත් වී ඇති බවය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS