කෝවිලක් හදන්නැයි බලපෑම්
ඉන්දියාවේ උතුරු දෙසින් පිහිටි අයෝධ්‍යා නගරයේ හින්දු කෝවිලක් ඉදිකරන්නැයි ඉන්දීය මධ්‍යම රජයට බල කරමින් හින්දු බැතිමතුන් දස දහස් ගණනින්, නවදිල්ලි අගනුවරට පා ගමනින් පැමිණියහ.
අයෝධ්‍යා යනු හින්දුවරුන් පමණක් නොව මුස්ලිම්වරුන් ද පදිංචි නගරයකි. අයෝධ්‍යාවේ වසර 450 කට වඩා පැරැදි දේවස්ථානයක් ඇති අතර, අයෝධ්‍යාවේ මුස්ලිවරුන් එය ඔවුන්ගේ පල්ලියක් ලෙස පිළිගනී. හින්දුවරුන් පවසන්නේ එය හින්දු කෝවිලක් කියාය. 1992 වසරේ දී, මෙම දේවස්ථානය මුල්කොට ගනිමින් නිර්මාණය වුණු හින්දු මුස්ලිම් කෝලහාල පැවැතිණි. හටගත් ගැටුම්වලින් මියගිය ගණන දහසකට වැඩිය.
නවදිල්ලි අගනුවර බලා පැමිණි ජන රැළියට හින්දු බැතිමතුන් 50,000 කට වැඩි පිරිසක් එක් වී සිටි බව ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබේ. හින්දු ජාතික සංවිධාන එක් වී, එම ජන රැළි සංවිධානය කර තිබුණු බව ද පැවැසෙයි. ජන රැළිය හේතුවෙන් නවදිල්ලි අගනුවර දෛනික කටයුතුවලට බාධා එල්ල වුණු බව ද වාර්තා වේ.
(එන්.ඩී.ටීවී.)