ඇමෙරිකන් රාජ්‍ය ලේකම්ගෙන් ඊශ්‍රායල නායකයන්ට දොස්



ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊශ්‍රායලයට පැමිණ, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඊශ්‍රායල ජනාධිපති අයිසෙක් හැරොග් හමුවී ගාසා තීරයේ විපතට පත් වූ පලස්තීන සිවිල් වැසියන් ගැන සාකච්ඡා කළේය.

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ, විපතට පත් වුණු පලස්තීනුවන්ට මානුෂීට ආධාර ලබා දීම ඊශ්‍රායලය විසින් ප්‍රමාද කරනු ලැබීම ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයාගේ දැඩි අප්‍රසාදයට හේතුවක් වූ බවත්, ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා ඒ සම්බන්ධයෙන් දොස් නැගූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගාසා තීරයේ විපතට පත්වී සිටින පලස්තීන සිවිල් වැසියන්ට ලබා දෙන ආධාර තවත් වැඩි කිරීමට ඇමෙරිකාව කැමැත්තෙන් පසුවන බව ද ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා හමුවේත්, ඊශ්‍රායල ජනාධිපඩිවරයා හමුවේත් ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් අවධාරණය කර ඇත.

ඊශ්‍රායලය ගාසා තීරයට පහර දෙන්නේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්, ඔවුන් මුලිනුපුටා දැමීමේ අරමුණ ඇතිවය. මේ වනවිට ගාසා හමාස් සටන්කානමී්ගේ නායක යහ්යා සින්වාර් මරා දැමීමට ද ඊශ්‍රායල හමුදා සමත් වී ඇත ගාසා හමාස් සංවිධානයට නායකයකු නොමැති බැවින්, සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් මුදා ගනිමින්, සටන් විරාමයකට යෑම සුදුසු බවත්, ඊට සුදුසු අවස්ථාව දැන් උදාවී ඇති බවත් ඇමෙරිකන් රාජ්‍ය ලේකම් බ්ලින්කන් පෙන්වා දුන්නේය.

ඊශ්‍රායලය මේ වනවිට ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් දිගින් දිගටම පහර දෙයි. හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය පහර දෙන්නේ, හමාස් සටන්කාමීන්ට හිස්බුල්ලා සහාය දක්වන බැවිනි. 

ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා ඊශ්‍රායලයේ ටෙල් අවීව් ගුවන් තොටුපොළට පැමිණීමට මිනිත්තු කීපයකට පෙර, ගුවන්තොටුපොළ තාවකාලිකව වසා දැමුණු බව ද පැවැසෙයි. ඒ, හිස්බුල්ලා රොකට් ප්‍රහාර ගුවන් තොටුපොළට එල්ල වීම නිසා යැයි ද පැවැසෙයි.


RECOMMEND POSTS