තමිල්නාඩුව හඬවා ‘අම්මා’ සමුගනී




මාස තුනකට ආසන්න කාලයක් ඉන්දියාවේ චෙන්නායි නුවර ඇපලෝ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි, තමිල්නාඩු මහ ඇමැතිනී ජේ. ජයලලිතා ඊයේ (5) රාත්‍රියේ මෙලොවින් සමුගත්තාය. මියයනවිට ඇගේ වයස අවුරුදු 68 කි.
තමිල්නාඩු වැසියන් ජේ. ජයලලිතා හඳුන්වන්නේ ‘අම්මා’ යන ආදර නාමයෙනි. තමිල්නාඩු වැසියන් ඇය දේවත්වයෙන් පුදන අවස්ථාව  ඇත. ‘අම්මාගේ’ අභාවයෙන් මේ වනවිට මුළු තමිල්නාඩු ප්‍රාන්තයම මහත් සේ කම්පනයට පත්ව ඇති බව ඉන්දීය පුවත් සේවා වාර්තා කර ඇත.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද ශෝඛ පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ජයලලිතාගේ අභාවය තමිල්නාඩු දේශපාලනයේ මහා හිස් අවකාශයක් ඇති කළ බවය. තමිල්නාඩු වැසියන් සමඟ තමන් ද දැඩි ලෙස ශෝකයට පත්ව සිටින බව ද අගමැති මෝදි වැඩි දුරටත් කියා සිටියේය.
ජයලලිතා වෙනුවෙන් සත් දින ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළ බව ද ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.
තමිල්නාඩු වැසියන්ගේ ආදරයත් ගෞරවයත් දිනා සිටි ජයලලිතා රෝහල් ගත කෙරුණේ පසුගිය සැප්තැස්බර් 22 වැනිදාය. ඒ, පෙනහළු ආසාදනයක් හේතුවෙනි.
පසුගිය සෙනසුරාදා (3) වෙද්දී ඇය සම්පූර්ණ සවය ලබා රෝහලෙන් පිටවී යෑමට සූදානමින් සිටි බව ඇගේ අන්නා ද්‍රවිඩ මුනේත්‍ර කසාගම් පක්ෂය පවසා තිබුණි.
එසේ සිටිද්දී ඉකුත් 4 වැනිදා (ඉරිදා) සවස ඇය හෘදයාබාධයකට ගොදුරු වූවාය. වෛද්‍යවරුන් යුහුසුළුවී ඇය හදවත් සැත්කමකට පවා භාජන කළහ. ඇය දිවි සුරැකුම් යන්ත්‍රයකට සම්බන්ධ කළ ද ඒ වනවිටත් ඇය මෙලොවින් සමුගෙන සිටියාය.
ජයලලිතා මියගියේ යැයි ඊයේ (5) සවස ඇතැම් ඉන්දීය පුවත් සේවා පුවත් පළ කළත් ඒවා නිවැරදි නොවිණි. ඒ, වනවිට ඇය අසාධ්‍ය තත්ත්වයෙන් දිවි සුරැකුම් යන්ත්‍රයට සම්බන්ධ කර තිබුණි. ජයලලිතා මියගිය බව නිල වශයෙන් තහවුරු වූයේ ඊයේ රාත්‍රියේය. ඇයට ප්‍රතිකාර ලබා දෙන වෛද්‍යවරුන් පමණක් නොව, ඇගේ පක්ෂය ද ඒ බව දැනුම් දුන්නේය.
ජයලලිතාගේ අභාවයත් සමඟ පුරප්පාඩු වුණු මහ ඇමැති ධුරයේ ජයලලිතාගේ විශ්වාසනීය සහායක ලෙස සැළකෙන ඕ පරීන්සෙල්වම් කටයුතු කරනු ඇතැයි පැවැසෙයි. ජයලලිතා රෝහල් ගතව සිටිද්දීත්, 2014 සිරගතව සිටිද්දීත් මහ ඇමැති ලෙස කටයුතු කළේ ඕ පනීර්සෙල්වම්ය.


RECOMMEND POSTS