ලෝක නායකයෝ මිසයිල ප්‍රහාරය හෙළා දකිති



ඉරානය සහ ඉරාකයේත් යේමනයේත් සිටින ඉරාන හිතවාදී සටන්කාමීන් පසුගියදා ඊශ්‍රායලයට මිසයිල සහ නියමුවන් රහිත ඩ්‍රෝන යානා 300 ක් යොදා ගනිමින් කළ ප්‍රහාරය හෙලා දැකීමට ලෝක නායකයන් කටයුතු කර ඇත.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස් සහ යුරෝපා සංගමය වෙනුවෙන් එහි ප්‍රධාන රාජන්‍ තාන්ත්‍රිකයකු වන ජොසෙප් බොරෙල් පවසා ඇත්තේ ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය තමන් හෙලා දකින බවත් එය කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි බවත්ය.

රුසියාව සහ චීනය ප්‍රහාරය සම්බන්ධයෙන් කනගාටුව පළ කරමින් පවසා ඇත්තේ හටගත් අර්බුදය තවත් දුරදිග යෑමට ඉඩ නොතැබීමට සියලු පාර්ශ්ව වගබලාගත යුතු බවය. කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ, බ්‍රිතාන්‍යඅග්‍රාමාත්‍ය රිෂී සුනාක් සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඉරාන ප්‍රහාරය හෙලා දකිමින් ඊශ්‍රායලට දිගින් දිගටම සහාය දෙන බව අවධාරණය කර තිබේ.

ඊශ්‍රායලයට ඉරානය එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ශුද්ධෝත්තම පාප්තුමන් ද සිය කනස්සල්ල පළ කර ඇත. මැදපෙරදිග කලාපයේ හටගත් ගැටුම්කාරී තත්ත්වය කඩිනමින් අවසන් විය යුතු බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් අවධාරණය කර තිබේ.
මැද පෙරදිග කලාපයට හෝ ලෝකයට තවත් යුද්ධයක් දරා ගත නොහැකි බවත්, එම නිසා ඉරානයත් ඊශ්‍රායලයත්, අඩියක් ආපස්සට තැබිය යුතු බවත් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමේදී අවධාරණය කළේය.

ඉරානය සහ ඊශ්‍රාලය මින් ඉදිරියට යුද්ධයක් ඇතිවිය හැකි කිසිදු පියවරක් නොගත යුතු බවද මහ ලේකම්වරයා ආරක්ෂක කවුන්සියල අමතමින් වැඩි දුරටත් පෙන්වා දුන්නේය. 

ඊශ්‍රායලයේ ඉල්ලීම පරිදි ආරක්ෂක කවුන්සිලය රැස්වූ අතර ඉරානය එල්ල කළ ප්‍රහාරය හෙළා දකින ලෙසත් ඒ පිළිබඳ ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඊශ්‍රායලය එහිදී ආරක්ෂක කවුන්සිලයෙන් ඉල්ලීමක් කළේය.

රැස්වීමේදී ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය පමණක් නොව, ඊශ්‍රායලය ඩමැස්කස් අගනුවර ඉරාන කොන්සල් කාර්යාලයට එල්ල කර ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා හෙලා දුටුවේය.

 (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS