සැනිටයිසර් කළ හදිය
මීට වසර පහකට පමණ පෙර, 2019 වසරේ දෙසැම්බරයේ, චීනයේ හුබෙයි පළාතේ, වූහාන් නුවරින් ආරම්භ වූ ‘කොවිඩ් 19’ කොරෝනා වයිරසය මුළු ලෝකයම උඩු යටිකුරු කළේය. ඇසට නොපෙනෙන ‘කොවිඩ් 19’ කොරෝනා වයිරසය, ලෝකයට කළ හදිය සුළුපටු නොවෙයි. ‘කොවිඩ් 19’ අපේ ආදරණීයයන් බිලිගත්තේය. බොහෝ දෙනකුට ඔවුන්ගේ ජීවනෝපාය අහිමි කළේය. අද වනවිට ‘කොවිඩ් 19’ වයිරසයේ සැර බාල වී ඇතත්, එය තවමත් අපේ ජීවිතවලට බලපෑම් කරයි.
‘කොවිඩ් 19’ ආරම්භ වෙද්දී, වයිරසයෙන් බේරෙන්න, වයිරසයෙන් අප ආදරණීයයන් බේරාගන්න, අප බොහෝ දෙනා යහපත් සෞඛ්‍ය පිළිවෙත්වලට වඩ වඩාත් යොමු විය. හොඳ පුරුදුවලට යොමු විය. අත් සෝදා පිරිසුදුව තබා ගැනීමටත්, ප්‍රසිද්ධ ස්ථානවල ගැවසෙන්නේ නම් ඇස්, නහය, කට, ස්පර්ශ කිරීමෙන් වැලැකී සිටීමටත් පුරුදු විය. චීනයෙන් ආරම්භ වී ‘කොවිඩ් 19’ වයිරසය ලොව පුරා ව්‍යාප්ත වෙද්දී, මරණ බය දැනෙද්දී, අපේ ආදරණීයයන් සහ සමීපයන් අහිමිවේවි යැයි බය දැනෙද්දී, මාස්ක් හෙවත් මුහුණු ආවරණ පැලැදීමට හුරු විය. රුපියල් පහට හෝ දහයට තිබුණු මාස්ක් ලොකු ලොකු ගණන්වලට අලෙවි විය. ‘කොවිඩ් 19’ වයිරසය නිසා ‘ගොඩගිය’ අයවලුන් වන්නේ, ෆාමසි හිමිකරුවන්, මාස්ක් නිෂ්පාදකයන් සහ සැනිටයිසර් නිෂ්පාදකයන් බව අමුතුවෙන් කිව යුතු නැත. ‘කොවිඩ් 19’ වයිරස වසංගතය ආරම්භය සිදුවුණු කාලයේ එනම් 2020 වසරේ, කිසිදු මිල පාලනයකින් තොරව මාස්ක් සහ සැනිටයිසර් දියර වර්ග අලෙවි වන්න විය.
‘කොවිඩ් 19’ ලොව කාටත් හිසරදයක් වෙද්දී, මාස්ක් මෙන්ම සැනිටයිසර් එසේත් නැතිනම් විෂබීජ නාශක දියර භාවිතයට අප සියලු දෙනා වඩ වඩාත් යොමු විය. ඒවා අප ජීවිතයේ කොටසක් විය. ගමනක් බිමනක් ගිය සැණින්, අතර මඟ දී පමණක් නොව ආපසු නිවසට ආ සැණින් ද සැනිටයිසර් දියරවලින් අත් පිරිසුදු කර ගැනීම සිදුවිය. නිවස පමණක් නොව කාර්යාලය නිරන්තරයෙන් සැනිටයිසර් දියරවලින් පිරිසුදු කෙරුණි. සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් අනුව, අප රටේ පමණක් නොව, විදේශවල ද අහස සූරන මන්දිරවලින් පිරුණු කොන්ක්‍රීට් වනාන්තරවල පවා ජනතාව ගැවසෙන ස්ථාන, නිරන්තරයෙන් සැනිටයිසර් යොදා පිරිසුදු කෙරුණි.
ඇසට නොපෙනෙන ‘කොවිඩ් 19’ වයිරස විෂබීජ මරා දැමීම අපගේ ඉලක්කය විය. එය සාර්ථක වූ බව පැහැදිලිය. වසර කීපයක් යද්දී, එන්නත්වලින් නිර්මාණය වූ ප්‍රතිශක්තිකරණය මෙන්ම, හොඳ සෞඛ්‍ය පුරුදු හේතුවෙන් ද ‘කොවිඩ් 19’ වයිරසය අඩපණ විය. එය සාමාන්‍ය උණ හෙම්බිරිස්සාවක් තත්ත්වයට පත් විය. මෙය මනුෂ්‍ය වර්ගයා ලැබූ ජයග්‍රහණයකි. ඒත් ඒ ජයග්‍රහණය වෙනුවෙන් අපට දැන් මිලක් ගෙවීමට සිදුවී ඇත.
අප සැනිටයිසර් විෂබීජ නාශක දියර දිගින් දිගටම භාවිත කළේ ‘කොවිඩ් 19’ විෂබීජ විනාශ කිරීමටය. එහෙත්, සැනිටයිසර් හේතුවෙන් විනාශ වූයේ ‘කොවිඩ් 19’ විෂබීජ පමණක් නොවෙයි; මනුෂ්‍ය අපට හිතකර, අපේ පැවැත්මට හිතකර බැක්ටීරියා පවා විනාශ විය. අපට හිතකර බැක්ටීරියා විනාශ වෙද්දී, අපට අහිතකර බැක්ටීරියා ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන්, සැනිටයිසර්වලට සෙමින් සෙමින් හුරු වීමට පටන් ගත්තේය. සැනිටයිසර්වලට ඔරොත්තු දෙන ආකාරයේ, සැනිටයිසර්වලට ප්‍රතිරෝධයක් දක්වන බැක්ටීරියා නිර්මාණය විය. පවතින බැක්ටීරියා සැනිටයිසර්වලට ප්‍රතිරෝධයක් දක්වමින් ඊට හැඩ ගැසුණි. මේ බව පවසන්නේ විදයාඥයෝ පිරිසකි. එම විද්‍යාඥ පිරිස සිදු කළ නවතම අධ්‍යයනයට අනුව, කාර්යාල, පාසල් සහ වෙළෙඳසැල්, පොදු ප්‍රවාහන ස්ථාන ආදියේ විෂබීජ නාශකවලට ප්‍රතිරෝධයක් දක්වන බැක්ටීරියා විශේෂ පහළ වීම මේ වනවිට ආරම්භ වී අවසන්ය. මෙය බිහිසුණු තත්ත්වයකි.
මෙම බිහිසුණු තත්ත්වය පිළිබඳ ලොවට අනාවරණය කළේ, චීනයේ සියැන් ජියෝටොන්ග් ලිවර්පූර් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් සහ ස්පාඤ්ඤයේ ඩාර්වින් විද්‍යා ආයතනයේ විද්‍යාඥයන්ය. එම විද්‍යාඥයන් ඔවුන්ගේ අධ්‍යයනය සිදු කළේ හොංකොං කේන්ද්‍රකොට ගනිමිනි. හොංකොං යනු චීනයේ පාලනයට නතු වූ වෙනම පරිපාලන ප්රදේශයකි. ලොව ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානයකි. වෙෙළඳ නගරයකි. ලොව නන්දෙසින් බොහෝ දෙනා හොංකොං පැමිණෙයි. එම විද්‍යාඥයන්, නිරන්තරයෙන් සැනිටයිසර් යොදා පිරිසුදු කෙරෙන හොංකොං නගරයේ පොදු ජනතාව ගැවසෙන ස්ථානවලින්, පාසල් කාර්යාලවලින්, වෙළෙඳ සැල් සහ අවන්හල්වලින් සාම්පල 738 ක් ලබා ගෙන ඒවා පරික්ෂා කළහ. එහිදී ඔවුන්ට හමුවුණු ක්ෂුද්‍ර ජීවීන්, සැනිටයිසර් විෂ බීජ නාශක දියරවල සාරය උරා ගනී. එම ක්ෂුද්‍ර ජීවීන් සැනිටයිසර් විෂ බීජ නාශක දියරවලට ඔරොත්තු දෙන ආකාරයට, සැනිටයිසර් විෂ බීජ නාශක දියරවලට ප්‍රතිරෝධයක් දක්වමින් ඒවායෙන් පෝෂණය වී ජීවත් වීමට හැඩ ගැසුණු බව විද්‍යාඥයෝ තහවුරු කර ගත්හ. විද්‍යාඥයන් මේ බව තහවුරු කර ගත්තේ, බැක්ටීරියාවල ජාන සැකසුම් හඳුනා ගෙන ඒවා අධ්‍යයනය කිරීමෙන් අනතුරුවය.
“කොවිඩ් 19 සමයේ ඉවක් බවක් නැතිව අප සැනිටයිසර් භාවිතා කළා. අපේ අත් පිරිසුදු කරන්න පමණක් නොවෙයි. අපගේ නිවසත් අප පිරිසුදු කළා. අපි අපේ නගර විෂ බීජවලින් ආරක්ෂා කරගන්න පිරිසුදු කළා. ඒත් ඒක දැන් පාරාවළල්ලක් වෙමින් පවතිනවා. අපට හිතකර ක්ෂුද්රජීවීන් අප විනාශ කර ගත්තා පමණක් නොවෙයි, දැන් අපට වින කරන ක්ෂුද ජීවීන් විෂබීජ නාශක දියරවලට ප්‍රතිරෝධයක් දක්වන්න පටන් අරන්. අනාගතයේ අපට සැනිටයිසර් යොදා ගනිමින් විනාශ කරන්න බැරි ආකාරයේ විෂ බීජ නිර්මාණය වේවි. දැනටමත් එය සිදුවෙමින් පවතිනවා” යැයි පර්යේෂණ කණ්ඩායමට නායකත්වය දුන් මහාචාර්ය සින්සාහෝ ටොංග් බිය පළ කර ඇත. එපමණක් නොවෙයි, විද්‍යාඥයන් කණ්ඩායම තවත් අපූරු අනාවරණයක් කර තිබේ. ඔවුන්ට හොංකොං නුවරින් පමණක්, මීට පෙර හමු නොවුණු ආකාරයේ නව ක්ෂුද්‍ර ජීවීන් විශේෂ 363 දෙනකු සොයා ගැනීමට හැකිවී ඇත. මේවා හොංකොං නගරයේ පොදු ස්ථානවල පමණක් නොවෙයි; හොංකොං වැසියන්ගේ සමේ පවා ජීවත් වන බව පර්යේෂණ කණ්ඩායම තහවුරු කරගෙන ඇත.
අප රෝගී වූ විට, වෛද්‍ය උපදෙස් නොමැතිව, හිතුමතේ ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීම එපා යැයි කියන්නේ ද මෙවැනිම තත්ත්වයක් නිසාය. ප්‍රතිජීවක ඖෂධ හිතුමතේ ලබා ගැනීම අප සිරුරේ අපට හිතකර ක්ෂුද්‍ර ජීවීන් විනාශ කිරීමට හේතුවක් වෙයි. අපගේ සිරුර ප්රතිජීවකවලට ප්‍රතිරෝධයක් දක්වන තැනක් බවට පත් වෙයි. එවිට, අසාධ්‍ය තත්ත්වයකදී ප්‍රතිජීවක භාවිතයට ගෙන රෝගවලින් ගැලවීම අපට කළ නොහැකි වෙයි. වෛද්‍ය පර්යේෂකයන් අනතුරු අඟවා ඇත්තේ වසර 2050 වනවිට අපට ආසාදනය වන රෝග (විශේෂයෙන් වයිරස වර්ග) බොහොමයකට ප්‍රතිකාර කිරීමට සුදුසු ප්‍රතිජීවක ඖෂධ නොමැති වනු ඇති බවය. සුපර්බග්ස් නමින් වෛද්‍යවරුන් හඳුන්වා දෙන විෂබීජ, වයිරස සහ බැක්ටීරියා හේතුවෙන් මනුෂ්‍ය වර්ගයාගෙන් සියයට 50 ක් මරා දමනු ඇති බවය. මේ අයුරින්, කොවිඩ් 19 වසංගතයෙන් පසු සැනිටයිසර් දියර නිතර නිතර භාවිතයට ගැනීමෙන්, අප අවට පරිසරය ද අහිතකර බැක්ටීරියා ආදී අහිතකර ක්ෂුද්‍ර ජීවීන්ට හිතකර පරිසරයක් නිර්මාණය කර දීමට සමත් වී ඇත. මෙය බිහිසුණු තත්ත්වයක් නොවේද?
ඩේලිමේල් ඇසුරිනි